නාඳුනන කවියා ගෙන්

මේ පද වැල් කිහිපය ලැබුනේ විද්‍යුත් තෑපැලෙනි. එවූ පුද්ගලයා එය “නන්නාඳුනන කවියෙක්” ගෙන් යැයි සටහන් තබා තිබුණි. ලියුවේ කවුරුන් වුවද එය උපුටා තබමි.

වන්නියේ යුද අගල් තුල

කඳු ගැසෙන යෞව්වනය මත

නියඟලා මල් පිපෙයි එක යායට

 

ඊසාන මෝසමේ බීරුමෙන්

වෙන් කෙරුනාට උතුරේ කඳුලු දකුණින්

තෙත බරිත ලේ සුවඳ හමනවා

වැස්සට දෙස් තියන

අහසට හූල්ලන

හාරිස්පත්තුවේ

අඟුණුකොල පැලැස්සේ

බුලත් කොහුපිටියේ

අම්මලාගේ නැහැ සිදුරු විනිවිද

ගැඹුරු හද පතුලටම

 

වර්ග කිලෝමීටරයක්

ඉදිරියට යන්න

යසවතී ගෙ කොලුවා ඇද වැටුනා

තවත් සිය ගානක් එක්ක

ඔල්වරසන් නගන

රූපවාහිනියවත් දන්නෙ නෑ

වැලලෙන්න බිම් අඟලක් නැති වග  

උපතින්ම සිංහල

ඒ කොලු ගැටවුනට

 

වගේ වගක් නැති කොළඹ

සව්දිය පුරනවා

අලුත් අවුරුද්දට

පෙන දදා උතුරද්දි කිරි මුට්ටි

කිලිනොච්චියේ ගලනවා

පෙරදාක කිරි කර පෙවුණු

ලේ කඳුලු

සිංහල ද දෙමළ ද

සොයාගත නොහැකිය වෙන්කර

 

ජීවිතේ මල්

යුද්ධෙ දියෙන කල්

දියවන්නාවට නැවුනු

වැටකෙයියා අත්තක ඉඳන්

කපුටෙක් කියනවා

සිංදුවක්

4 comments so far

  1. hashu on

    this poem was in lankadissent.com site :)

  2. නිදහස් අදහස් on

    ස්තූතියි. :D ලියපු කෙනා ගැන සඳහනක් තිබුනෙ නෑ විද්‍යුත් ලිපියෙ

  3. ලිහිණි on

    ඔව්, යුද්දෙ එක්ක ජීවත්වෙන, අපේ සහෝදර සහෝදරියන්ගෙ ජිවිතවල ලේ කදුළු වෙලා ගලන්නෙ, අම්මල පෙවිව මවිකිරි, ආදරේ නිසා කිරි වෙච්ච ඒ ‍ලේ දහරාවන් පොළව තෙමාගෙන ගලාන යද්දි ගලා හැලෙන කදුළුවලට අපි කොහොමද වන්දි ගෙවන්නෙ

  4. පොලි ටික්කා on

    යුද්ධෙට යන්නේ හුරතල් වෙන්න නෙමෙයිනේ, අනික මෙ යුද්ධ කරන්නේ රටක් රාජ්‍යක් අල්ල ගන්න නෙමෙයි නේ,
    මෙ රට පාවල දෙන අයට ඩොලර් ලැබෙනවා, ඒක නිසා එයාල යුද්දෙන් මැරෙන මිනිස්සු ගැන හුල්ලනවා, යුද්ධය නවත්ත ගෙන කොටින්ට රට බාර දෙන්න අන්තර්ජාතික ක්‍රමොපායන්ට සහයොගය දක්වනවා. කොටින් දකුනේ කරන අහිංසක මනුෂ්‍ය ඝාතන වලදි නිදි කිරනවා
    තම රට බෙරා ගැනිමෙන් පසුව අන් රටක් අල්ලා ගැනිමට යාවි නම් මෙවා පැවසිම සාදාරණ විය හැක.
    මගෙත් සහොදරයො යුද ගැටුමේ හිටියා දැනටත් ඉන්නවා, එත් කාටවත් අමාරුව හැදිලා තියෙන්නේ මොකක් නිසාද? මළ ගෙවල් පැත්තෙවත් ආවද?
    මෙයාලට විසා එක ලැබෙනවනේ වැඩෙ හරි ගියොත්, එකනේ රට බල්ලට ගියත් කොටින්ට ආවඩන්නේ, අනේ අපිට නම් බැ අපේ රට කාටවත් ලියලා දිලා උන්ට ඕන ඕන විදියට ජිවත් වෙන්න.
    සමහර විට මෙක ලියපු කෙනයි, පල කල කෙනයි, අදහස් දක්වපු මෙ ලඳ බොළඳ කාන්තාවයි කැමති ඇති එයාලගෙ ගෙවල් දොරවල් එහෙම අනික් අයට පිනට දෙන්න,
    හැබැයි ඉතින් අපි ගිහින් එයාලගේ ගෙවල් වල බලෙන් පදිංචි වුන දාට බලා ගන්න පුලුවන් වෙවි මෙයාලගේ මෙ තියෙන මානව දයාව පිලිකන්න පැත්තෙන් පැනල යන හැටි.


Leave a reply