නිදහස

අපි අපේ පරම්පරාවෙ නිදහස අහිමි වීම ගැන හොයමු. ලංකාවේ තාරුණ්‍යය හැමදාමත් වැඩිහිටි පරම්පරාවෙ අමන කම් ඉදිරියෙ තමන්ගෙ නිදහස අහිමි කරගත්තා. වැඩිය අවශ්‍යය නැහැ අපි වෙළඳ කලාපයට හැරෙමු. නූතන ධනවාද විසින් පෙලනු ලබන අද යුගයෙ පරම්පරාවෙ  ශ්‍රමය දරුණු ලෙසම සුරා කෑමට  ලක් වෙන්නෙ මේ නූතන වෙළඳ කලාප හරහා. ලංකාවෙ මුකුත් කරකියාගන්න බැරි , පරම්පරාවෙ අහලක වත් එකෙක් දේශපාලනය නොකල නිසා යන එන මං නැතිවන අපේ තරුණ පිරිස ගාමන්ට් එකක් ඇතුලෙ හිරවෙනවා. මේ පරම්පරාවෙ නිදහස ගැන කවුරුවත් කතා කරන්නෙ නැත්තෙ ඇයි? මානසික වශයෙන් හා ශාරීරික වශයෙන් මේ අයට නිදහසක් තියෙනවද? අද වෙනකොට ලිංගිකමය (වචන එක්ක ප්‍රශ්නයක් ඇති කර ගන්න එපයි කියල කියවන හැම දෙනාගෙන්ම මුලින්ම ඉල්ලනව) පීඩනය , නිසි වයසෙදි ආදරය කරන්න, විවාහ වෙන්න , ළමයෙක්ගෙ හුරතල් බලන්න නිදහස අහිමි වෙච්ච කලාපෙ ජීවිත බහුතරයක් ඛේදවාචකයක් බවට පත් වෙලා ඉවරයි. “බජිරි කා රට රැක ගනිමු” කියල තුන් වේලම හොඳට කාලා බල්ලො මුත්‍රා කරන තාප්ප පෝස්ටර් වලින් වහන්න තරමෙ ආර්ථික නිදහසක් තියන තක්කඩින්ට කෑ ගහන්න පුලුවන් වුනාට බජිරි කන්න තරම් වත් ආර්ථිකමය ශක්තියක් අපේ පරම්පරාවේ මේ අසරණ වුන ජීවිත වලට තියෙනවද?

මට නිදහස කියන එකේ අභිමානය මේ මිනිස්සුන්ගෙ කඩා වැටුනු ජීවිත දිහා දකින කොට දැනෙන්නෙ නෑ. අපි නිදහස කියල අර්ථ දක්වන්නෙ මොකද්ද? රටක සමාජ, ආර්ථික , දේශපාලන, සාහිත්‍ය ආදී සෑම අංශයකින්ම එහි පුරවැසියන්ට ලැබෙන නිදහස නෙවෙයිද?ඉතින් කෝ එතකොට නිදහස? අතීතය , අනාගතය අමතක කරල දාමු පොඩ්ඩකට. ඉස්සෙල්ලාම ඔයයි මමයි ඇතුලත්වන පරම්පරාවෙ නිදහස ගැන තව හොයමු. අපි සරල ප්‍රශ්නයක් ගනිමු. ලංකාවෙ හරි වයසෙදි විවාහයක් , ගෙයක් දොරක් ගැන හිතන්න පුලුවන් අපේ පරම්පරාවෙ කී දෙනෙ ක් ඉන්නවද? මේක පුද්ගලික සිහින පිළිබඳ සිල්ලර කාරණාවක් නෙවෙයි. පත්තරයක් අරගෙන බලන්න විවාහ වන වයස ඉකමවපු කී දාහක් මේ රටේ ඉන්නවද? ඇයි එහෙම වෙන්නෙ? පවතින අර්ථ ක්‍රමය තුලින් මිනිස්සුන්ට නිසි කාලෙදි තමුන්ගෙ ලිංගිකමය , මානසික හා අධ්‍යාත්මික වශයෙන් සතුට ලැබීමේ නිදහස අහිමි කරල නේද?

මට ලංකාව ගැන හිතෙන්නෙ “අවාසනාවකට ඇත්ත කතාවක්” කියන එක. සමහර කාරණා හරිම විහිලුයි. පවතින පීඩනය යටතෙ තමුන්ට අවශ්‍යය විදිහට ජිවත් වීමේ නිදහස අහිමී වුන ලංකාවෙ පිරිමියා බාර් එකකට හරි යාලුවො සෙට් වෙලා හරි බොනව. නැත්තම් සිගරට් එකක් බොනව. “මතට තිත” කියල වචන වලින් ජනතාව රවට්ටන ගමන් අය වැයෙන් තවත් මිල ඉහළ දාලා බදු අය කරගෙන ලොක්කො සුර සැප විඳිනව. නැත්තම් දුම් බීම සෞඛ්‍යට අහිතකරයි කියන ගමන් සිගරට් එකේ මිල සත පනහකින් වැඩි කරනව. ආතල් අහිමි වෙච්ච ලංකාවෙ මිනිස්සුන්ට සැනසෙන්න හොයාගෙන තියෙන ක්‍රමයටත් උදැල්ල දාලා ආණ්ඩුව සල්ලි  හොයනව. (මත්පැන් පුද්ගලානුබද්ධ කාරණාවක්.  ලංකාවෙදි ඒක සමාජ ගත වෙන කාරණාවක්. ඒකයි ඒ උදාහරණය ගත්තෙ)එයාල නිදහසේ. අපි?

මං මේ කියන්න හඳන හැම කාරණාවෙදි ඉස්මතු කරන්න හදන්නෙ මෙන්න මේ ටික. ඒ තමයි පුලුල් අර්ථයකින් සලකා බලන විට ලංකාව නිදහස ලබල නැහැ කියන එක. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල 1972 දී ව්‍යස්ථාව ගෙනාපු පලියට අපට පූර්ණ නිදහසක් ලැබෙන්නෙ නෑ. මේ තවත් සරල උදාහරණයක්. ටික්ක දුර යන බස් එකකට නගින්න. එතකොට ඔබ කැමති වුනත් නැතත් බලෙන් රේඩියෝ එක්ක හරි කැසට් එකක කන්දොස්කිරියාව විඳගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නෙ ඔබේ රස වින්දනය බස් කොන්දොස්තර හරි ඩ්‍රයිවර් විසින් හරි උදුරගන්නව. ඔය ලංකාවෙ නිදහස අහිමි කරන ආකාරය ගැන සරලම උදාහරණයක්. මේවා නොතැකිය හැකි තරම් කුඩා මට්ටමේ ඒවා කියල හිතෙනව ඇති. නමුත් චින්තනයෙන්(අහවල් චින්තනය නෙවෙයි) මොට වුන සමාජයක නිදහස අහිමී කිරීමේ ආරම්භ වෙන්නෙ ඔය වගේ පුංචි සිදුවීම් හරහා.

Advertisement

No comments yet

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: