Archive for July, 2008|Monthly archive page

චින්තනයේ ස්භාවය

“ලංකාවේ සාක්ෂරතාව 98% පමණ වේ. එය දකුණු ආසියාවේ අංක එකද ආසියාවෙන් අංක දෙකද වෙයි. නමුත් එයින් මිනිසුන්ගේ සිතීමේ හැකියාව හෙලී නොවේ”

රෝහිත භාෂණ අබේවර්ධන, හිරු කණ්ඩායම

ඉහත භාෂණ ගේ ලිපියකින් උපුටා ගත් වැකිය නූතන ලාංකීය සමාජයේ මුග්ධ භාවය පිළිබදව අපූරු කියමනකි. චින්තනය විලංගු ලූ දේශයකදී සත්‍යයද , සාධාරණය ද වල පල්ලට යවා ඇත. ඉතිරි වන්නේ ලේ පැල්ලම් පමණි.

ප්‍රශ්න කරන්නෙමි

මා අවට ඇති ලෝකය විටෙක අතිශයින් අසාධාරණය. එයට දකින්නට ඇත්තේ එකතරා මායිමකට , ප්‍රමාණයකට පමණි. තමන් ජීවත් වන වටා පිටාව තුල ඇති බන්ධනයන් ගෙන් වෙලී මා දෙස බලන ලෝකයට මම වයිර කරන්නෙමි. මගේ දුක සැපෙහි ළඟින් සිටිනා මිතුරිය මාගේ පෙම්වතිය නොවන්නේ මන්දැයි ඔවුනට ගැටඵවකි. බරපතල ප්‍රශ්නය අසන්නේ ඉන් පසුවය. ඒ ඇය පෙම්වතිය නොවන්නේ නම් ඇය ඔවුන්ගේ පරිකල්පනයට අනුව බඩුවක් නොවන්නේද යන්නයි. එනම් ඔවුනට අවශ්‍ය මා ඇය හා කොහේ හෝ කාමරයක එකතු වනු දකින්නටය. විරුද්ධ පාර්ශවයේ අයෙක් හා  පෙම්වතිය නොවන මිතුරු දමක් තිබිය නොහැක. මා කල යුතු එකම දෙය නම් ඈ හා කොහේ හෝ ගොස් රමණයේ යෙදීමය. නැතිනම් මට ඇය හා හුදෙක් මිත්‍රත්වයක් පැවැත්වීමට ඉඩ නැති බව ලෝකය මට කොනිතතමින් කියයි. එක්කො ඇය පෙම්වතිය කර ගත යුතුය. නැත්තනම් රමණයේ යෙදිය යුතුය.

ලාංකීය සමාජය පෙලෙන්නේ ලිංගික කුහකත්වයෙන් ද නැතහොත් ලිංගික බෙලහීනතාවයෙන්දැයි මම , මගෙන්ම ප්‍රශ්න කරමි. මගෙන් ප්‍රශ්න කරන්නන් හට අනුව තමන්ගේ නොවන ( මව, සොහොයුරිය, ඥාතීන්) ගැහැණුන් බෙදිය හැක්කකේ වර්ග දෙකකටය .
එක වර්ගයක් නම් තමන් ට සිතින් රස විඳිය හැකි ගැහණුන්ය. එය මානසික වූ රමණයකි.
අනෙත් වර්ගය මොකක් හෝ කර සැබෑ අවස්ථාවක් ලබා ගැනීමට හැකියාව ලද ගැහැණුය.

ලංකාවේ දී භාෂාව පිරිමි වන්නේ කෙසේද යන්නත් එහි දේශපාලනික ගැඹුරු භාවය ගැනත් මා හඳුනන කෙනෙක් මා හට ළඟදී පැහැදිලි කලේය. මට දැන් ඇති ප්‍රශ්නය ලංකාවේ භාෂාව ලිංගිකමය කුණුහරුපයක් බවට පත් වූයේ කෙසේද යන්නය. මට තේරෙන හැටියට ගැහැණු සිටින්නේ එක්කෝ නිදි වැදීමටය . නැතිනම් තම ඥාතියෙක් වීමටය. එවිට කොතනත් පිරිමින්ගේ හැටි එය බවත් සරලවම එය පිරිමි ගතිය බවටත් කවුරුත් සතුටින් අර්ථ දැක්වීම් ලබා දෙති. මට ප්‍රශ්නය නිදි වදින්නට චැට් රූම් ගානේ ගොස් ගැහැණු සොයන අපේ සමහරු අඩුම ගානේ කලින් වතාවක පිරිමියකු සමඟ පෙම් සබඳතාවයක් ඇති කර ගෙන සිටි තරුණියක් සිය පෙම්වතිය කර ගන්නට අකමැති වීමය. මගේ මුල් ප්‍රශ්නයට ආපසු හැරෙමි.  මේ ලියන්නේ දිගින් දිගටම එවන් අමන ප්‍රශ්න මා වෙත එල්ල කරන ලැබූවන් කෙරෙහි උපන් කෝපයෙනි. ගැහැණියක් වින්දනය කිරීම උදෙසා ඇය හා මානසික හෝ සැබෑ රමණයේ යෙදීම හැර වෙනත් ආකාරයක් හිතා ගන්නට බැරිව ඔත්පල වූ සමාජයකට මේ ලියැවීම විකාරයකි. මන්ද මොකක් හෝ වචන ටිකක් ඇද දමා බඩුවක් එක්ක ආතල් ගැනීමට හැර වෙනත් හේතුවක් නිසා මිත්‍රත්වයක පලක් ඇත්දැයි සමාජය ප්‍රශ්න කරන බැවිනි. නමුත් මට ඒ මිත්‍රත්වයේ රේඛා ඇතුලත දයාබරත්වයද , සිනහව සහ සතුට කැටිවී තිබේ. එහෙයින් ඒ මිත්‍රත්වය කාමරයක් තුල උච්චස්ථානයකට පත්වී ටික කලකින් අතහැර දැමිය යුතුය යනුවෙන් නැගෙන යෝජනාවේ හඬවල් වලට එරෙහි වීමට මට අවශ්‍යය.

තව දුරටත් නොලියන්නෙමි. සිතන්නට අවැසිව තිබේ.