Archive for September, 2008|Monthly archive page

ආගමික අන්තවාදයේ කරුමය

පසුගිය දවසක අපි විශාල කලබැගෑනියක් නිර්මාණය කල සිදුවීමක් සිදුවුණි. ඒ අනවසරයෙන් ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීමේ වරදරට හිමි නමක් අත් අඩංගුවට ගැනීමත්, ඉන්පසු අධිකරණයේ එම නඩුව කැඳවූ විට භික්ෂූන් වහන්සේ නැගී නොසිටීමත් යන කරුණු නිසා. විකාර සහගත රටක් වන ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ  මූලික විඳීමට බාධා කිරීම ආතල් එකක් කර ගැනීම නිසා මේ සිවිල් නීති කඩ කිරීම සාධාරණිකරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවුනා. අපි දන්නා තරමින් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව ලංකාව ඉරානයේ හෝ වෙනත් අරාබි රටක් මෙන් ආගමික රාජ්‍යයක් නොවන බව හැමෝම දන්නා කරුණක්. ඒ අනුව රටේ සිවිල් නීතියට ගරු කිරීම ආගමික නායකයන් හට වුවත් අදාලය යන සරල කාරණාව මුලින්ම තේරුම් ගැනීමට මේ අන්තවාදී බුද්ධ පුත්‍රයන් හට නොහැකි වීම ගැන ඇත්තේ ලොකු කණගාටුවක්. මේ ස්වාමීන් වහන්සේට අනුව පාරේ වම් පැත්තෙන් ගමන් කිරීමට පූජක පක්ෂයට හැකිවිය යුතුයි. මොකද ඔවුන්ගේ අමන තර්ක අනුව රටේ මූලික නීතියට ඉක්මවා යන බලයක් ඔවුන් සතුව ඇතැයි උපකල්පනය කරන නිසා. දැන් මූලික සිද්ධිය දෙසට අවධානය යොමු කරමු.

කාලයකට ඉහත පන්සලක් නිවස අසල පිහිටා තිබීමේ අවාසනාවට මම ද මුහුණ දුන්නා. ආගම යනු මිනිසුන්ගේ මානසික සුවය සදන දෙයක් වුවද ඉරිදා උදේ පාන්දර ඇරඹෙන මේ පිරිත් දේශනාව ශබ්ද විකාශන යන්තූ මගින් ප්‍රදේශය පුරා රැව් දෙන විට , සතියේ දවස් හයක් පුරාවට මානසික , ශාරීරික විඩාවට පත්වුනු නූතන යුගයේ ලාංකිකයාගේ භූමිකාව නියෝජනය කරන අපිට ඉරිදා උදයේ අමතර පැයක් නිදා ගැනීමට තියෙන අවස්ථාව අහිමි වෙනවා. පිරිත් වාදනය අසන්නට අවශ්‍ය නම් ඒක අවශ්‍ය පුද්ගලයා අසනවා විනා බලෙන් මිනිසුන් මත පටවා අනෙකාගේ නිදහසට යම් ආකාරයකින් හෝ බාධා කරන මේනියාව මොකද්ද කියන එක තේරුම් ගන්නට හරි අමාරුයි. හරියට බස් වල යනකොට වාදනය වන කැසට්, රේඩියෝ මගින් රියදුරා අපේ නිදහසට බාධා කිරීම වගේ වැඩක්.

අන්තවාදී මුහුණවර ගත් ජාතික වාදී , ආගම් වාදී ව්‍යාපාර හරහා ශෝකාන්ත බවට පත්වූ ඇෆ්ගනිස්ථානය පිළිබඳව කතාව කියවල හමාර කලේ ඊයේ. මෙවැනි ව්‍යාපාර හරහා බැට කෑ රටවල් සඳහා උදාහරණ ඕනෑ තරම් තියෙනවා. මිනිසුන්ගේ  මූලික අයිතිවාසිකම් සහ වඩා යහපත් සමාජයක් උදෙසා වන සමාජ දේශපාලන ව්‍යාපාරයක සේයාවක් වත් දකින්නට නැති ශ්‍රී ලංකාවේදී ඒ වෙනුවට බිහි වන නොයෙක් උරුමයන් යුයි කියාගත් කරුම පක්ෂ වලට පින්සිදු වන්නට මෙවැනි මතවාද පවත්තවා ගෙන යාමට අවශ්‍යය පිටිවහල තවමත් ලැබෙනවා. ඒක නිසා කරුණාකර රටේ සිවිල් නීතියට ගරු කිරීම වඩා වැදගත් බව මේ උන්නාන්සේලා තේරුම් ගන්නට කාලය එළඹිලා. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව පුරවැසියකුට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස දී ඇති නිසා කරුණාකර ආගම අප මත බලෙන් පටවන්නට එපා කියන කාරණාව මතක් කර දෙන්නට සිද්ධ වෙනවා.

හාමුදුරුවනේ,

ලංකාව කියන්නෙ පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා

ජීවිතේ සුන්දරයි

මේ දවස් වල විභාගෙ. ඒ මදිවට ඉස්සරහ ජීවිතේට කරන දේවල් හොයා ගන්නත් ඕන. බදාදා හවස විභාගෙ ඉවර වුන හැටියෙ “අබා” බලන්න ගියා. ලංකාවෙ මට්ටමේ දී ඒක හොඳ වැඩක්. කාලෙකට පස්සෙ චිත්‍රපටියකට සෙට් වීමේ ආතල් එකත් අරගෙන එළියට බැස්සා. මිනිස්සු පිරුණු වැල්ලවත්තෙ පදික වේදිකාව අස්සෙ මිනිස්සුන්ගෙ ජීවිත දිහා බල බල හිතේ කිසි දෙයක් නැතිව ඔහේ ඇවිදගෙන ගියා. ළඟම තිබ්බ තොසේ කඩේකට ගියා. කෑවා , ප්ලේන්ටි බිව්වා. අන්තිමේ දී බැංකුවෙ ඉතුරු වෙලා තියෙන සොච්චමෙන් ටිකකුත් එළියට ඇදල ගත්තා. රෑ හොස්ටල් කාමරේ පුංචි හමුවීමක්. සින්දු අහගෙන රසකතා මැද්දෙ විභාග අතර තුර විවේකයක්. මම බෝඩිට එන කොට අනිත් උන් ටක පාඩම් කරනවා. ගොඩ කාලෙකට පස්සෙ අනිත් අයට බදු දීලා තිබ්බ හිතේ කොටස් ටික ආපහු අරගෙන කරදරයක් නැතුව නිදා ගත්තා.
ඊට පහු වෙනිදා ගෙදර යන්න   පිටත් වුනා. ඇතුලෙ කොටු වෙලා ඉන්නවට වඩා එළියෙ බැහල ඇවිදින කොට හම්බ වෙන මිනිස්සු විවිධයි. කොටුවෙදි කෙල්ලෙක් අඬනවා. තව දෙන්නෙක් ආදරේ කරනවා. අර සීතලේ කවුද අයිස් ක්‍රීම් කනවා. එක දවසක් පන්ති යන කාලේ එහෙම ගිහින් අපිත් කෑවා නේද කියල ලියන කොට මතක් වුනා. එක එක ජාතියේ මිනිස්සු. හිනාවෙන, හෙම්බත්වුනු, හැඟීම් විරහිත මූණු ආදී නොයෙකුත් ජාතියෙන්. මිනිස්සු දැක්කම ලොකු සහනයක් දැනුනා. ඒක පාරටම වෙන ලෝකෙකින් ගොඩ බැස්සා වගේ. කෝච්චියෙ බස් එකේ පුරුදු වට පිටාව, දුක මැද්දෙ නිවනට. ගෙදර ගිහිල්ලා යාපනෙන්ම ගෙනාවයි කියපු කොට්ට කිලංගු කෑවා. ඔක්කොටම වඩා ඉවරයක් නැති වැස්ස. සේරම ජාති අස්සෙ එක පාරටම ජීවිතේ ගැන ආයෙමත් අර ලෝබකම ඇති වුනා. දමල ගහල යන්න හිතෙන්නෙ නැති තරමට ජීවීතේ ගැන ලෝබයි. ජීවත් වෙන්න තියෙන කෑදර කමට වඩා ජීවිතේ විඳින්න තියෙන මොකද්දෝ ආස හිතෙන හැඟීමක්.ගොඩක්  දේවල් මතක් ගලා ගෙන එන කොට එක පාරට “සුනිල් මාධව” මහත්තයගෙ ලිපියක නම මතක් වුනා.

“ජීවිතේ  සුන්දරයි”

ඔව් . ඒක ඇත්ත…………………………………………………………………………………

අබා: ජැක්සන් කුරුසියේ තබා ඇණ ගැසීම

ළඟදි “අබා” බලන්න ගියා. අබා යනු කිතු ලකුණ එබ්බවූ නිර්මාණයක් බවත්, එය සිංහල ඉතිහාසය විකෘති කරන බවටත් මතවාද ගොන්නක් පැතිරගෙන යම කාලයක් මේ. ඇත්තටම ඒක එහෙමද ? කලා නිර්මාණ ඇතුලෙ ඉතිහාසය තුල තමන් දරන මතවාදය නිරූපණය කිරීමේ අයිතිය කලා කාරයට තියෙනවා. කලා නිර්මාණයක් කියන්නෙ ඇත්ත නෙවෙයි. උදාහරණයක් විදිහට “යකුන්ගෙ රැහේ ලේ ධාතුව” ගැන තියෙන මතවාදය ගැන ජැක්සන් කියන්නෙ තමන් ඒ පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම් බව.

ලංකාව ඇතුලෙදි කොහොමටත් කලා නිර්මාණ කරන එක හරි අමාරු වැඩක්. පන්සිල් පද නොදන්න අය අබා බෞද්ධ සංස්කෘතියට විරුද්ධයි කියල කෑ ගහන රටක් මේ. “අබා” ජාතිවාදී ආගම් වාදී කරන්න පුලුවන් ඒ වගේම උදවියට විතරයි. ලංකාවේ ඉන්න වයසින් වැඩිහිටි මනසින් ළමා පරම්පරාවට චිත්‍රපටි හදනවට වඩා ලේසියි පවතින කඩේ යන රැල්ලට එකතු වුනා නම්.

“අනතවාදය හිසින් දරාගත් දේශයකදී ලේ පැල්ලම් ඉතිහාසයේ සටහන් තබනු ඇත.”

එය ප්‍රත්‍යක්ෂ උදාහරණ වලින් පෙන්වා දීමට නූතන ශ්‍රී ලංකාවට හැකි වී ඇත.