Archive for October, 2008|Monthly archive page

ස්ත්‍රී චර්ම ඡේදනය : වාරිස් ඩයිරි

වාරිස් ඩයිරි ගේ කාන්තාරයේ කුසුම කියවා අහවර කලේ අද සවස් යාමයේ දීය. ඒ පිරිමි භාවය පිළිබඳ උපන් ලජ්ජාවකින් සහ ලිංගික කුහක භාවයට එරෙහි වූ කෝපයෙන් දැවෙමිනි. වාරිස් ඩයිරි යනු කවුද? ඇය නිරූපිකාවකි. සෝමාලියා වේ ගොත්‍රයක ඉපිද ස්ත්‍රී භාවය නිසා උපන් දුක් පීඩා වලට මුහුණ දුන් වාරිස් අවසානයේ දී ලන්ඩනය ට පැමිණ නිරූපිකාවක ලෙස ජීවිතය ජය ගනී. නමුත් ඇගේ ජීවිතයේ අඳුරු පැතිකඩක් ඇය හෙලි කරන්නේ අප කම්පාවට පත් කරවමිනි. එනම් ස්ත්‍රී චර්ම ඡේදනයයි. ඒ පිළිබදව අසා තිබුනද , කියවා තිබුණද වාරිස් ගේ පොත ඇති කල කම්පනය ඒ ගැන ලියන්නට මෙහෙය වීය.

ස්ත්‍රී චර්ම ඡේදනය යනු කුමක්ද?

මෙය අරාබි කරයේ සහ අප්‍රිකානු රටවල අවුරුදු 4000 පමණ තරම් වන චාරිත්‍රයකි. එනම් දැරියන්ගේ ප්‍රජනේන්ද්‍රියේ බාහිර කොටස් කපා ඉවත් කිරීමයි. මේ කපා ඉවත් කරන කොටස ස්ත්‍රී ශරීරයේ අතිශය සංවේදි කොටසකි. මෙහි අරමුණ කාන්තාවන් හට ලිංගික සතුට ලැබීම වැලැක්වීමය. නමුත් අනාරක්ෂීතව ඉතා ප්‍රාථමික ලෙස සිදු කරන මෙම කටයුත්තෙන් බොහො දැරියන් ආසාදනයන්ට ගොදුරු වීම සහ අධික ලෙස ලේ වහනයෙන් මිය යති. මේ සඳහා උපයෝගි කරගන්නේ පිහි තල, බ්ලේඩ් තල, ගල් පතුරු වැනි දෑ ය. තවද සමහර අවස්ථාවන් හි මෙය දැරියන් විවාහයට පෙර වෙනත් මිනිසුන් හා එකතු වීම වැලැක්වීමට ප්‍රජනේන්ද්‍රිය මැහුම් දමා යම් ප්‍රමාණයක් වසා දැමීමට තරම් පිළිකුල් සහගත බව මේ පොත කියයි. එක්සත් ජාතීන් ගේ වාර්තා වලට අනුව ලොව පුරා වසරකට දැරියන් මිලියන දෙකකට ආසන්න පිරිසක් මේ කුරිරු ක්‍රියාවට ලක් වේ. මේ පොත තුල වාරිස් ඩයරි විස්තර කරන ආකාරයට ඉන් පසු මුත්‍රා කිරීම, ඔසප් වේදනා ඇයට දැරිය නොහැකි තරම් විය. ඇගේ වාසනාවකට ලන්ඩනයේ දී පසු කාලීනව ශල්‍යකර්මයකට භාජනය වී එම වේදනාවෙන් මිදෙන්නට ඇයට හැකියාව ලැබුණත් එම අවස්ථාව නොලද දහස් ගණන් දැරියන් මේ ලියන මොහොතේ පවා ජීවත් වෙති. වාරිස් විස්තර කරන ගෝත්‍ර සම්ප්‍රදාය තුල දැරියක් විවාහ වීමට නම් ඇය චර්ම ඡේදනයට ලක් වී තිබිය යුතුය.

මානව වර්ගයාට නිගරුවක් වන මෙවැනි චාරිත්‍ර ගොඩ නැගුනේ ඇයි? බොහෝ විට මේවා ආගමික හා සංස්කෘතික විශ්වාසයන් මත බැඳී ඇත. නමුත් පුරුෂාධිපත්‍ය උපරිමයට ගිය තිරිසන් සමාජ තුල සිය ලිංගික කුහකත්වය මුදුන් පමුණා ගෙන ඇත්තේ මෙවැනි ක්‍රියා සමාජ ගත කිරීමෙනි. කාන්තාවගේ ප්‍රජනේන්ද්‍රියේ කොටස් කපා ඉවත් කල යුතු නම් පුරුෂ ලීංගයේ කොටසක් කපා දමන්නට මේ සමාජයන් ඉදිරිපත් නොවන්නේ මන්ද? ගැහැණියට ලිංගික සතුට අහිමි ද ? දෙවියන්ගේ නාමය ට මුවාවී මේ වපුරන අන්තවාදයන්ගේ පලය කුමක්ද?

වාරිස් ගේ අත්දැකීම කොතරම් කටුක දැයි කිවහොත් ඔසප් දිනවල දී ඇය වේදනාව දරා ගත නොහැකිව කාන්තාරයේ වැල්ලේ වලක් සාරා ඉණ තෙක් එහි වැලලී සිටි බව මේ පොත විස්තර කරයි. ගැහැණියක් කායිකව සහ භාවාත්මකව දුබල කිරීමට එය සමත් වන බව වාරිස් කියන්නේ එම කම්පනය අපට දැනෙනන්ට සලස්වමිනි.

මේ වාරිස් ඩයිරි පමණක් මුහුණ දුන් අත් දැකීමක් පමණක් නොවේ . සංස්කෘතික කාරණා මත යැයි කියමින් වුවද සිය ලිංගික ජීවිතයේ තක්කඩි කම් වලට යෙදෙන්නට පිරිමින් විසින් නිර්මාණය කරගත් සමාජ රාමු සහ හර පද්ධති අපට ඕනැ තරම් හමුවේ. ඒවා මග හැර යාම නොව ඒවා අභිමුඛ වී එරෙහි වීම අපගේ කාර්යය විය යුත්තේය.

 

සටහන

නව කතාව

වාරිස් ඩයරි මුහුණ දුන් සත්‍ය අත් දැකීම් ඇසුරු කොට ගෙන ඇය හා කැත්ලීන් මිලර් එක්ව රචිත Desert Flower කතාව 1999 වසරේ වැඩියෙන්ම අලෙවි වූ ග්‍රන්ථය ලෙස අන්තර්ජාතික කීර්තියට පත් විය. “කාන්තාරයේ කුසුම” නමින් මෙම පොත රංජිත් කුරුප්පු මහතා විසින් සිංහලයට පරිවර්තනය කර ඇත.

අන්තවාදයේ කරුමය – 2

 අන්තවාදයේ කරුමය නමින් මුලින් ලියන ලද ලිපියට සෘජු ප්‍රතිචාර නොදක්වා තැන් තැන් වල ලියා තිබූ බැවින් නැවත මුල් ලිපියේ අර්ථය පැහැදිලි කිරීමට ලියන්නෙමි. නමුත් මුලින්ම කීමට ඇත්තේ කශේරුකාව පිළිබඳ ප්‍රශ්න විසඳා ගැනීම කෝකටත් හොඳ බවය.

මුල් ලිපිය නැවත සැලකිල්ලෙන් කියවා බැලුවහොත් ලංකාව යනු ආගමික රාජ්‍යක නොවන බව අවධාරණය කර ඇත්තේ ආගම සමග ඇති තරහක් හෝ වෙනත් ආකාරයේ නෝක්කාඩුවක් නිසා නොව පුරවැසියන්ගේ මූලික නිදහසට බාධා කිරීමට ආගමට මුවා වීමට එරෙහි වීම උදෙසාය. අනෙත් වැදගත් කාරණය වන්නේ ආගම මිනිසුන් මත බලෙන් පැටවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කරනු පිණිසය.

ඛේදවාචයක් බවට පත්වූ ශ්‍රී ලාංකාවේ සිය මධ්‍ය පාන්තික කුහක භාවය ද , හිස් කමද වසා ගැනීමට නොයෙකුත් විකාර රූපී රංගන වල යෙදෙන ලාංකිකයන් මත පදනම් වූ කරුම පක්ෂ වලට පින්සිදු වන්නට සිවිල් නීති කඩ කිරීම සාධාරණි කරණය කරන්නට කොළඹ තාප්ප පුරා පෝස්ටර් ඇලවෙන රටක  දී මේ ලියැවීම් විකාරයකි. ශබ්ද විකාශන යන්ත්‍ර පිළිබඳ මූලික නීති පැනවූයේ ලංකාව තුල මිනිසුන්ට අවම වශයෙන් රාත්‍රි කාලයටවත් සැනසිල්ලේ සිටින්නට හැකි වන ලෙසටය. නමුත් තමන්ගේ අසල් වැසියා සුවසේ නිදා ගැනීම නිසා තමන්ගේ ආතල් බිඳ ගන්නා අපේ අමනයන් හට මේ නිතී නිසා හිත රිදේ. ආගම යනු අධ්‍යාත්මික සුවය සලසා ගැනීමට අවශ්‍ය දෙයකි. ජීවිතයේ දුක් ගංගාවක් නම් එය තරණය කර අධ්‍යාත්මික සැනසීම කරා එළඹීමට ඇති පාරුවක් ලෙස ආගම සැලකිය හැක. නමුත් කරන්නට වැඩක් නැති කමින් පෙලෙන ලාංකිකයා හට අවශ්‍ය පාරුවේ නැගී යාම වෙනුවට පාරුව කරේ තබාගෙන යාමය. මෙය අද දවසේ ආගම් වලට පමණක් නොව නොයෙක් ආකාරයේ  අන්තවාදයන් හට යොමු වුනු ලාංකිකයන් හට අදාලය. එම නිසා අනුන්ගේ ආතල් කැඩීමට ඔබට ඇති ආසාව නිසා කරුම පක්ෂ සහ නොයෙකුත් සංවිධාන ඔබ ලා සමග රමණයේ යෙදුනු පමණින් ඔබ සමග රමණයේ යෙදීමට අප බැඳී නැත.

 

එම නිසා පෙර ලිපියේ අවසානයේ ලියූ දෙය නැවත ලියමි.

 

ලංකාව පන්සලක් නෙවෙයි. ඒක නිසා අපිට වද දෙන්න එපා.