Archive for November, 2008|Monthly archive page

ඉවත් කල ප්‍රතිචාර

ෂාන් විසින් ඉවත් කරන ලද ප්‍රතිචාර පහත දක්වමි.

1)
සරත් ගුණතුංග said…

පරිගණක තාක්ෂණයේ අභිවෘද්ධියටත් සිංහල භාෂාව පරිගණකයක් තුල හැසිරවීමෙහි ලා කෙරෙන නව කටයුතු වලට බාධා නොකරනු පිණිසත් මේ සංසදය තුල තුච්ඡ දේශපාලන මතවාද, නොකටයුතු බව මගේ හැඟීමයි. දැනට මෙහි පවතින්නේ ඉතා පිරිසිදු, ඉතාම සභ්‍ය වාතාවරනයකි. දේශපාලනය මෙයට රිංගා ගත හොත් මේ සංසදය බිඳ වැටෙනු නිසැකය. එසේනම් සත්තකින්ම මම නවතින්නෙමි. සාමාජිකයෙක් හැටියට දෙශපාලන සාකච්ඡා නොකල යුතුය යනු මගේ හැඟීමයි. මට තීරනයක් ගත නොහැක. එය සංසදයටම අයිතිය. මෙපමණ කල් අපි සාකච්ඡා කලේ ඉතිහාසගත සිදුවීම් ඉතිහාසය ලෙසට මිස දේශපාලනමය ලෙස නොවේ.
November 13, 2008 1:07 PM

2)ම said…

මෙය සංසදයට අදාල දෙයක් නොව මොහුගේ පුද්ගලික බ්ලොග් අඩවියයි එබැවින් ඔහුට කැමති දෙයක් ලිවිය හැක. කාටවත් මෙය කියවන්න යැයි බලකර නොමැත. කියවීම හෝ නොකියවීම ඔබ සතු තීරනයකි.
November 13, 2008 2:43 PM

3)
@ සරත් ගුණතුංග

මේ සංසදයේ මූලික අරමුණු කරුණා කර කියවා බලන්න. එහිදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දීම උදෙසා එය පිහිටුවා ඇති බව ඔබට දැන ගත හැක. ඔබ නොදන්නා වුවද දේශපාලනය ගැන ලියැවෙන මතවාදීමය කරුණු දැනටමත් බ්ලොග් අඩවි හරහා නිදහසේ ගලා යමින් පවතී. එම නිසා කරුණාකර අන් අයගේ නිදහසට බාධා කර ආතල් ගැනීමට සැරසීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. මීට පෙරද ක්‍රිස්තායිනි ආගම අරභයා ලිවෙන බ්ලොග් අඩවියක් ඉවත් කරන ලෙසටද ඔය ආකාරයේම ඉල්ලීමක් ඉදිරි පත් විය.

“සාමාජිකයෙක් හැටියට දෙශපාලන සාකච්ඡා නොකල යුතුය යනු මගේ හැඟීමයි”

මෙය ඔබේ මතය මිස සැමගේ මතය නොවේ. තවද ඕනෑම සාමාජිකයකු දරන මදවාද හා සම්මුඛ වීමට අවශ්‍ය වාතාවරණය බ්ලොග් අවකාශය තුල පවතී. පොලිස් ස්ථාන හීනෙන් පෙනෙන නිසා අසල් වැසියන් පොලිස් සි තුලට ගාල් කිරීමට ඉක්මන් නොවන ලෙස ඉල්ලා සිටිමි.

දේශපාලනයට බිය වීම වෙනමම කාරණාවක් වන අතර එය විසඳා ගැනීමට අනෙක් මත වාරණය කල යුතු යැයි හඬ නැගීම උචිත නොවේ

හෘද සාක්ෂියක් නොමැති විට :යුධ අපරාධකරුවකු පාර්ලිමේන්තුවට

කරුණා අම්මාන් පාර්ලිමේන්තුවට ගිය පුවත දැන් පිලුණු වී හමාරය. හෘද සාක්ෂියක් නොමැති කල් හී එය එසේ වීම පුදුමයක් නොවේ. එහෙත් මිය ගිය මිනිසුන් උදෙසා යුක්තිය ඉටුවිය යුතුව තිබේ . එය පැහැර හැරීමට ලක්වන්නේ ඇයි?

කරුණා අම්මාන් යනු කවරෙක්ද? විනයාග මූර්ති මුරලි දරන් හෙවත් කරුණු අම්මාන් මේ සමාජයට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ඔහුගේ ත්‍රස්ත වාදී ඉතිහාසයට අමතරව අලුතෙන් යමක් ලියවුනි නම් ඒ ඔහු ජාත්‍යන්තර ආගමන හා විගමන නීති නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කල බව සහ දැන් දරන පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය පමණි. කරුණා අම්මාන් කලකදී සිංහල ජන සමාජයේ සතුරකු වූ අතර අද කිසිවකු ඔහු ගැන තව දුරටත් වද වෙන්නේ නැත. ජාතික හෙළ උරුමයට හා ජවිපෙ ට අනුව දේශ මාමක සම්මානයකින් පවා පිදුම් ලබන්නට සුදුසුය. නමුත් කරුණා අම්මාන් යුධ අපරාධ කරුවෙකි. නැගෙනහිර පළාතේ සිංහල පොලිස් නිලධාරීන් 600 ක් අමු අමුවේ ඝාතනය කිරීම ඇතුලු යුධ අපරාධ ගණනාවකට වරද කරුවෙකි.

සටන් බිමේ මිය යන සොල්දාදුවන්ගේ ලේ මතින් සිය දේශපාලනික සටන් පාඨ මෙහෙයවන ජවිපෙ සහ හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් පිරි නමන විට ඊට එරෙහි වූවා ද? නැත.ජවිපෙ පවා වැලපුනේ සිය මන්ත්‍රී ධුරය පිළිබඳ මිස එම ධුරයට පත් කරන පුද්ගලයා ගැන නොවේ. සිය අවස්ථා වාදී දේශපාලනය ඉතා හොඳින් පෙන්නුම් කරන මේ පක්ෂ කිසිදු හිරි කිතයකින් තොරව පාවා දීම් සිදු කරයි. මිය ගිය මිනිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු නොවන්නේ මන්ද? දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ යුධ අපරාධකරුවන් ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ නඩු පැවරුණේ මිය ගිය සිවිල් වැසියන් වෙනුවෙන් යුක්තිය ඉටු කරනු පිණිසය. ඊශ්‍රායලය ඇඩොල්ෆ් අයික්මාන් පසු පස ලුහු බැඳ ගියේ ද එම නිසාවෙනි. නමුත් ශ්‍රී ලංකාවේ දී? ඩිලාන් පෙරේරා හට සිය මිතුරු නාලන්ද එල්ලාවල වෙනුවෙන් හෘද සාක්ෂියට ඉඩ දීමට හැකි වූවා ද? නැත .

හෘද සාක්ෂිය ලංකාව තුලදී අවලංගු කාසියක් බවට පත් වන්නේ එ අයුරිනි. 71 , 83 , 89 දී මිය ගියවුන් වෙනුවෙන් කොමිසම් ගොඩ නැගුනි. සූරිය වැව මීනි ඇට කටු ගොඩ ගත් චන්ද්‍රිකා රජය බලයට ආවෙ භීෂණ සමයේ දී සිය දූ පුතුන් අහිමි වූ මව් වරුන්ගේ කඳුලු මතිනි. නමුත් පසු කලක දී ඝාතකයන් එම රජයේම කොටස් කරුවන් ලෙස එක්වී තනතුරු දරන්නට ගත්තේ පාවා දීමේ සලකුණු සටහන් කරමිනි. දේශපාලන වේදිකා මත තම දිවු පිදූ සඟයන් ගැන කඳුලු සලමින් බලයට පැමිණි විමල් වීරවංශ වැනි දේශපාලකයන් හට කරුණා අම්මාන් තම බලය රැක ගැන්මට උපන් උපයෝගි කරගත හැකි එකෙකු පමණි. ඒ ජඩ දේශපාලනයට හෘද සාක්ෂියක් නොමැත. 71 දී ද ඉන් පසුවද ගැලූ ලේ තවමත් තැනින් තැන ගල් ගැසී තිබේ. ලංකාවේ දී හෘද සාක්ෂිය තැනී තිබිය යුත්තේ ලෙයින් මසින් නොවේ. මන්ද පාවා දීම පැවැත්මේ එකම ක්‍රමය බැවිනි.

මිය ගියවුන්ගේ විලාප ඒ ගැන වැලපෙන සමීපතයන් හට මිස සෙසු ජන සමාජයට දැනෙන්නේ නැත. තමන්ගේ නොවන කල් හී මිනිස් ජීවිත වෙනුවෙන් හෘද සාක්ෂිය අවදි කිරීමට වඩා ස්වකීය පුද්ගලික ගේම් ගැසීම සුව දායක වන නිසා ඒ ගැන වද වීමට අවශ්‍යය නැත.  නමුත් තවමත් ජවිපෙ ඉල්මහ විරුවන් සමරයි. සූපර් ස්ටාර්, කිඩ්ස් ස්ටාර්, ඩාන්සින් ස්ටාර් යුගයේ සූරියවැව, බටලන්ද ඇතුලු වධක බිම් ද නැගෙනහිර පළාත තුල ඝාතනය වූ ඒ පොලිස් නිලධාරීන්ද හුදු ඉතිහාසය පමණි. ඒවා දැනටමත් අමතක කර හමාරය. තුවාල වූ හදවත් වල වේදනාව හරහා සිය බලය තහවුරු කර ගැනීම හැර ලාංකේය දේශපාලනයට කාර්යක් නැත. කරුණා අම්මාන් යුක්තිය ඉදිරියට ගෙන එන්නැයි කීම දේශ ද්‍රෝහී ක්‍රියාවක් ලෙස නම් කිරීමට ඉඩ ඇත. කලෙක මිනී මරුවන් අප ඉදිරියේ සිනා පෑව ද කම් නැත. මන්ද හෘද සාක්ෂිය පාවා දී ඇති යුගයක දී එය අතිශය ස්වාභාවික බැවිනි.