Archive for January, 2009|Monthly archive page

නාඳුනන කවියා ගෙන්

මේ පද වැල් කිහිපය ලැබුනේ විද්‍යුත් තෑපැලෙනි. එවූ පුද්ගලයා එය “නන්නාඳුනන කවියෙක්” ගෙන් යැයි සටහන් තබා තිබුණි. ලියුවේ කවුරුන් වුවද එය උපුටා තබමි.

වන්නියේ යුද අගල් තුල

කඳු ගැසෙන යෞව්වනය මත

නියඟලා මල් පිපෙයි එක යායට

 

ඊසාන මෝසමේ බීරුමෙන්

වෙන් කෙරුනාට උතුරේ කඳුලු දකුණින්

තෙත බරිත ලේ සුවඳ හමනවා

වැස්සට දෙස් තියන

අහසට හූල්ලන

හාරිස්පත්තුවේ

අඟුණුකොල පැලැස්සේ

බුලත් කොහුපිටියේ

අම්මලාගේ නැහැ සිදුරු විනිවිද

ගැඹුරු හද පතුලටම

 

වර්ග කිලෝමීටරයක්

ඉදිරියට යන්න

යසවතී ගෙ කොලුවා ඇද වැටුනා

තවත් සිය ගානක් එක්ක

ඔල්වරසන් නගන

රූපවාහිනියවත් දන්නෙ නෑ

වැලලෙන්න බිම් අඟලක් නැති වග  

උපතින්ම සිංහල

ඒ කොලු ගැටවුනට

 

වගේ වගක් නැති කොළඹ

සව්දිය පුරනවා

අලුත් අවුරුද්දට

පෙන දදා උතුරද්දි කිරි මුට්ටි

කිලිනොච්චියේ ගලනවා

පෙරදාක කිරි කර පෙවුණු

ලේ කඳුලු

සිංහල ද දෙමළ ද

සොයාගත නොහැකිය වෙන්කර

 

ජීවිතේ මල්

යුද්ධෙ දියෙන කල්

දියවන්නාවට නැවුනු

වැටකෙයියා අත්තක ඉඳන්

කපුටෙක් කියනවා

සිංදුවක්

හෘද සාක්ෂිය අහිවූ සමාජය

මේ සටහන ලියන්නේ බූන්දි යේ පලව තිබූ ලිපියක් දැකීමෙනි. එය පලවන කාරණාවයි. දෙවැන්න කරුණා අම්මාන් සමග අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කරේ අත දමාගෙන නැටූ බව පලව තිබූ පුවතක් දැකීමෙනි. මුල් ලිපියෙහි කියා තිබුණු පරදිද්දෙන්ම අප ජීවත්වන්නේ මිය ගියවුන් උදෙසා යුක්තිය ඉටු නොවන සමාජයකය.

ඝාතනය යනු අපරාධයකි. නමුත් ඝාතනයන් අමතක කොට, යුක්තිය පසිඳලීම පසෙක ලා ඝාතකයින් හා සහජීවනයට හුරුවීම ඊටත් වඩා සාපරාධයකි.

ඒ උපුටා ගැනීම මුල් ලිපියෙනි. කරුණා අම්මාන් ගැන මතකයන් අද වන පිලුණු වී හමාරය. යුගයේ එවැන්නන් හා සහජීවනය ජීවත් වීමේ නිසා මාර්ගය ලෙස සැලකේ. එවිට මිය ගියවුන් උදෙසා යුක්තිය???? ලංකාවේ ජන සමාජයට හෘද සාක්ෂියක් නොමැත්තේ ඇයි දැයි අපට සැම විටම පැන නගින ගැටලුවකි. හෘද සාක්ෂියක් සතුව ජීවත් වීම යුගයේ ක්‍රමය නොවනවා වන්නට පුලුවන. නමුත් ලාංකේය ජන සමාජය තුල ඇති කල තුවාල සුවපත් කරන්නට මීනී මරුවන් හා එරෙහි වන්නට අපට නොහැකි වී ඇත්තේ ඇයි????

89 මව්වරුන්, පියවරුන් තවමත් වැලපේ. අතුරුදන් වූවන් ගේ මව්පියන් හට අදද යුක්තිය ඉටු වී නොමැත. ඩිලාන් පෙරේරා සිය හෘද සාක්ෂිය පසෙක තබා සහජීවනයට හුරු වූවේය. සමාජය සතු තුවාල සුවපත් කරන්නට නම් යුක්තිය ඉටු විය යුත්තේය. නමුදු අද දවසේ අපේ දේශපාලන නඩයට කරුණා අම්මාන් තවත් ගජ මිතුරෙකි. කාලය විසින් යුක්තිය සහ සාධාරණය සඳහා වන නිර්වචනයන් ලාංකීය භූමිය තුල වෙනස් වී ඇත්තේය. කලක දී මිනී මරුවන් අද වන විට අප ඉදිරියේ සිනා පාමින් සිටිති. ඔවුන් හා පෙරලා සිනහ නොවීම යුගයේ දී දේශ ද්‍රොහී කමකි.

මා සඳහන් කල මුල් ලිපියෙහි රචිකාවිය හඬා වැලපෙන්නේ යුක්තිය වෙනුවෙනි. නමුදු ඒ යුක්තිය හුදෙක් බලාපොරොත්තුවක් බවට පත්ව ඇති අතර සිය එදිනෙදා කාර්යන් සමග සිත යොමා සිටින අවශේෂ සමාජයට සංවේදනය වන්නේද නැත. මියගිය වුන් ගේ සමීපතමයන් හට ඇරෙන්නට ඒ වෙනුවෙන් කැපවන සමාජ ව්‍යාපාර අද දවසේ දී අප හමුවේ මුණ නොගැසෙන්නේ එබැවිනි.

විසිරුණු කල්පනාවන් අතරදේ දී කලකට ඉහත දිවයිනේ පලවූ ඡායාරූපයක් මගේ මතකයට නැගෙයි. ඒ ඇඹිලිපිටිය මහ විදුහලේ සිසුන් ඝාතනයට වැරදිකරු බවට උසාවියෙන් තීරණය කර බන්ධනාගාරය දක්වා කැඳවාගෙන යන එම විදුහලේ විදුහල්පතිව සිටි දයානන්ද ලොකූගලප්පත්ති නම් මීනිමරුවාගේ සිනාසෙන ඡායාරූපයකි. එම ඡායාරූපයේ ශීර්ෂය වූයේ “මීනිමරුවොත් සිනාසෙති” . එයට යටින් අති සංවේදී වැකි පෙලක් සටහන් කොට තිබුණි. සාධාරණත්වයේ නාමයෙන් තවත් එවැනි මීනි මරුවන් ගණනාවක් යුක්තිය ඉදිරියට ගෙන ආ යුතු වුවද සමාජය එය අමතක කර දමා නිසොල්මනේ සිටියි.

අවසානයේ අප සිතට නැගෙන ගැටලුව එය ලාංකීය ජන සමාජයේ හෘද සාක්ෂිය අහිමි වීමද නැතහොත් නපුංසක භාවයද යන්නයි. කාරණාව කුමක් වුවද කලකට ඉහත රෝහිත භාෂණ ගේ වැකියකින් නැවතීමේ තිත තබමි.

“ජීවත්ව සිටින වුන් නිදිගත් සමාජයක මළවුන් වෙනුවෙන් කිසිදා යුක්තිය ඉටු නොවේ”

Facebook දේශප්‍රේමය : (පරිවර්තනයකි)

මේ ලිපිය http://suranga.wordpress.com බ්ලොග් අඩවියේ පලවූ ලිපියක පරිවර්තනයකි. මුල් ලිපිය සඳහා :

අන්තර්ජාලයට පිවිසීමට පසු ගිය මාස කිහිපය තුල මට හට නොහැකි වූ නමුදු අතරින් පතර අන්තර්ජාලයට පිවිසුණෙමි. ඒ අතරතුර මා නීරීක්ෂණය කල අමුතු සිදුවීමක් වූයේ facebook හි profile picture එක වෙනස් කල තිබූ ප්‍රමාණයයි. බොහෝ පින්තූර වල අඩංගුව තිබුනේ ජාතික ධජය නොයෙකුත් ආකාර වලනි. මේ කුමන අරුමයක්දැයි සිතා ගැනීමට මට දිනක් දෙකක් ගත විය. අපේ රණ විරුවන් තවත් ත්‍රස්තවාදී තිප්පලක් තම ග්‍රහණයට ගෙන ඇත. එම අනුව රණ විරුවන් හට කෘතවේදීත්වය පල කරනු උදෙසා මේ ක්‍රියාව සිදු කර ඇත. තවද ප්‍රතිචාර දහස් ගණනින් එක් කර ඇත. මේ සඳහා බොහෝ විට පෙරමුණ ගෙන තිබුනේ විදෙස් රටවල ජීවත් වන ලාංකිකයන් වීම කැපී පෙනුනි.

එම අනුව යුධ පෙරමුණේ සිය දිවි පරදුවට තබා සටන් වදින සොල්දාදුවන් මීළඟ වතාවේ තම බලැක්බෙරි දුරකථනයෙන් facebook අඩවියට පිවිසි විට, ඔවුනට විශාල සතුටක් දැනෙනු ඇත. යුද්ධයෙන් සිය පුතුන්, ස්වාමියා , සහෝදරයා අහිමි වූවන් හට සහනයක් දැනෙනු ඇත. සිය නිවස පෝෂණය කල සහෘදයා අහිමි වීම විඳ දරා ගැනීමට මේ ඔන් ලයින් දේශප්‍රේමීන් ශක්තිය ලබා දෙනු ඇත.

මේ දේශප්‍රේමීන් සිකුරාදා රාත්‍රී වල සමාජ ශාලා වල කරක් ගැසීම නවතා දමා ඇතිවාට සැක නැත. තවද අවන්හල් හි සුරා පානය, ගී ගැයීම් සහ අධික වියදම් නවතිනු ඇත. යාන වාහන , උත්සම , අධික මිලැති ඇඳුම් පැළදුම් වලින් තොරවනු ඇත. ගණිකා මඩම් ද , සම්බාහන ආයතන වලටද නොයනු ඇත. ඒ සියලුම මුදල් රණ විරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුල් වල සුබ සාධනය සඳහා වැය වනු ඇත.

මෙවැනි කැපකිරීම් වලින් පසු තවත් ඔවුන්ට කිරීමට ඉතිරිව ඇත්තේ කුමක්ද ???? ජාතික ධජය සිය profile picture එක ලෙස දමාගෙන එදිරියට ඇදෙන රණ විරුවන් දෙස නෙත් දල්වා හිදීම පමණී. ඉදිරියේ දී මෙවැන් MSN, YAHOO,GOOGLE දේශප්‍රේමීන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙනු ඇත. ඔවුන් දැක උද්දාමයට පත් නොවී සිටිය හැක්කේ කා හටද????? මේ රටට දෙවි පිහිටයි.

සටහන : බ්ලොග් කතෘගේ අවසරය ගැනීමට ප්‍රායෝගිකව අපහසු බව හැඟුණු බැවින් හදිසියේම අවසරය නොමැතිව පරිවර්තනය කරන ලදී.