Archive for April, 2012|Monthly archive page

අසේනිය කුසුමෙහි (සිංහල බ්ලොග්කරණ තරඟාවලිය) නොකියවුණු කතාවක් : එය සැබෑ කුසුමක් ද?

අත් වැරදීමකින් ඊයෙ දිනයෙහි ලිපිය මැකී ගිය නිසා නැවත පල කරන ලදී.

මේ ලිපිය ලියන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. එහෙත් ලිවීමට වූ මොකද්දෝ කුසීත කම නිසාත් ඒ අවදියේ පාසල් යමින් උන් මේ කතාවට සම්බන්ධ චරිත වලට යම් අපහසුතාවයක් සිදු වේ යැයි හැඟුණු නිසාවෙන් මේ ලිපිය නොලියවිණි. නැවතත් මේ ලිපිය ලියා දමන්නට ඕනැ යැයි සිතට වද දුන්නේ “අසේනිය කුසුම” සාහිත්‍ය උළෙලෙහි බ්ලොග් කරණ අංශයෙහි සම්මාන පිදුණු බවට දැන ගන්නට ලැබුණු බැවිනි.

“අසේනිය කුසුම” මුල් වරට පැවැත්වෙන්නේ 2009 වසරේදී යැයි මගේ මතකයේ පවතී. අපේ පරම්පරාවට ගව් ගණනක් එහාට ගිය පාසල් ශිෂ්‍යන්ගේ මේ ව්‍යායාමය අපගේ සතුටට හේතු විය. ඊටත් වඩා සිංහල බ්ලොග් අවකාශයට ලැබුනු යම් අකාරයක දිරි ගැන්වීමක් වූ එය එවකටත් බ්ලොග් කරණය ප්‍රචලිත කිරීමට වෑයම් කරමින් සිටි අපට ලැබුනු තල්ලුවක් යැයි සිතමි. මේ තරඟාවලිය විනිශ්චය කිරීමට පැමිණෙන්නැයි ආරාධනා කලේ එවකට සිංහල බ්ලොග් අවකාශයට පාසල් සිසුවකුව සිටිමින් දායකත්වය සැපයූ බ්ලොග් කරුවෙකි. ඔහු රාජකීය විදුහලේ මෙම කලා උළෙලෙහි බොහෝ බරක් ඇදි සිසුවෙකි. එම ආරාධනය පිළි ගන්නට දෙපාරක් සිතුවේ නැත. අප සිටියේ ඒ පිළිබඳ උද්යෝගයකින් ඇළලෙමිනි. ඒ ගැන පොඩ් කාස්ට්යක්ද අප අතින් කෙරුණේ ඒ අනුවය.

මට අමතරව මේ සඳහා එකතු වුයේ බ්ලොග් අවකාශයේ ප්‍රවීණයෙක්, බ්ලොග් නොලිව්වද ප්‍රතිචාරාවකාශය හරහා සක්‍රීයව දායකත්වය සැපයූ අයෙක් සහ බ්ලොග් අවකාශයට ආගන්තුක වූ වේදිකා නාට්‍යය කරුවකුත් ය. මීට අමතරව විද්‍යාලය නියෝජනය කරමින් එක විනුසරකු ඇතුලත්ව පස් දෙනෙකු මුලු විනිශ්චය මණ්ඩලය නියෝජනය කලහ. අප පස්දෙනා අවසාන තේරිම් සඳහා එක ඉරු දිනක රැස්වූයේ රාජකීය විදුහලටය. නොයෙක් වාද විවාද කරමින් , සටහන් තබා ගනිමින් අවසානයේ දුන් ලකුණු අනුව බ්ලොග් අඩවි ඒ ඒ අංශ වලින් සම්මාන සඳහා තෝරා ගැනිනි. මගේ මතකයේ හැටියට එක් සම්මානයක් සඳහා ලකුණු සමවූ අවස්ථාවක ඡන්ද විමසීමට පවා සිදුවිය.

ප්‍රශ්නය ආරම්භ වූයෙ ඉන් පසුවය. අපේ විනිශ්චයට අනුව “හොඳම සමූහ බ්ලොග් අඩවිය” ලෙස තෝරා ගැනුනේ බූන්දි අඩවියයි. එය විනිශ්චය මණ්ඩලයේ සියලුම දෙනාගේ තේරිම විය. අවාසනාවකට ඉන් දින කිහිපයකට පසු සම්මාන උළෙලට පෙර මා ඇමතූ අපට ආරාධනා කල සිසුවා කියා සිටියේ බූන්දි අඩවියට සම්මාන ලබා දීම පාසල ඇතුලතින් ප්‍රතික්ෂේප කර ඇති වගය. ඒ පිළිබඳ විමසූ විට දැන ගන්නට ලැබුනේ එවැනි අඩවියකට සම්මාන ප්‍රධානය නොසුදුසු බවය. මම වහාම අපේ විනිශ්චය මණ්ඩලයේ සේස්සන් ඇමතුවෙමි. ඔවුන්ගේ මතය වූයේ බූන්දි අඩවියට සම්මානය ලැබිය යුතු බවත් එසේ නොවේ නම් අප මෙම උළෙල වර්ජනය කල යුතු බවත්ය. අවසානයේ අපගේ නම් විනිශ්චය කරුවන් ලෙසට සඳහන් නොකරන ලෙසට එම සිසුවාට දැනුම් දුන්නෙමි.

ලංකාවේ පාසලක කළා උළෙලක් ළඟා විය හැකි මට්ටමෙන් ඔබ්බට ගමන් කර තිබූ “අසේනිය කුසුම” නරඹන්නට ආසාවෙන් සිටි මුත් කොළඹ විශ්ව විද්‍යාලය අසලටම ගොස් නැවත හැරී ආවෙමි. බූන්දියට සම්මානය අහිමි වූයෙ එය කරමින් සිටි ප්‍රකාශ කරමින් සිටි අදහස් සමුදාය නිසා යැයි සිතමි. “හොඳම සමූහ බ්ලොග් අඩවිය” ලෙස තෝරා ගැනීමට බූන්දිය තරම් වෙනත් අඩවියක් තිබුනේ නැත. අදටත් බ්ලොග් අවකාශයෙහි බූන්දිය තරම් සාමූහික ප්‍රයත්නයක් දරන අඩවියක් නැත.

අප ජීවත්වෙන සමාජයෙහි සැම තැනකම දේශපාලනය හා බැඳී පවතින මුත් ඒ ගැන බ්ලොග් අවකාශයේ කතා කිරීමේ වරදට බූන්දියට එම සම්මානය අහිමි වී යැයි සිතමි. සම්මානය නොලැබීම බූන්දිය ආපස්සට යැවීමට හේතු වූවා යැයි නොසිතමි. අදත් බ්ලොග් අවකාශයෙහි එය තම වගකීම ඉටු කරමින් සිටී. එසේ වුවව මා පුද්ගලිකව කණගාටු වූයේ ඒ සාමූහිත්වයේ වෙහෙස මහන්සියට ලැබිය යුතුව තිබූ යම් ඇගයීමක් එයට නොලැබී ගිය හෙයිනි. බ්ලොග් කරණය තව තවත් ප්‍රචාරය කිරීමට අප වෙහෙසෙමින් සිටි ඒ කාලයේ බූන්දිය අප බලාපොරොත්තතු වූ තැනකට බ්ලොග් අවකාශය ගෙන යාමේ කාර්යය කරමින් සිටියේ ය. එය අදත් කරමින් සිටී. එහෙත් මම එක කියමින් ප්‍රතිචාර දමා ගෙන පිට කසා ගන්නා සිඟිති බ්ලොග් අවකාශයට මෙවැනි ලිපි මග හැරෙනු ඇත. නමුත් බූන්දිය තවත් එවැනි ලිපි හරහා ලාංකේය සමාජය ආමන්ත්‍රණය කරන්නට උත්සහ දරනු ඇත.

රාජකීය විද්‍යාලයෙහි “අසේනිය කුසුම” අප පාසල් සිසුන් ව සිටි අවධියේ කල දේට වඩා පියවරක් බොහෝ ගණනක් ඉදිරියට ගියේ යැයි නැවත වතාවක් කියමි. එහෙත් බූන්දිය නිසා හිත පෑරුණු තැනක් තිබේ. මා මෙය ලියා තැබුයේ ඒ පිළිබඳව සේස්සන් දැන ගත යුතුව ඇතැයි සිතූ බැවිනි.