Archive for the ‘සමාජ’ Category

අසේනිය කුසුමෙහි (සිංහල බ්ලොග්කරණ තරඟාවලිය) නොකියවුණු කතාවක් : එය සැබෑ කුසුමක් ද?

අත් වැරදීමකින් ඊයෙ දිනයෙහි ලිපිය මැකී ගිය නිසා නැවත පල කරන ලදී.

මේ ලිපිය ලියන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. එහෙත් ලිවීමට වූ මොකද්දෝ කුසීත කම නිසාත් ඒ අවදියේ පාසල් යමින් උන් මේ කතාවට සම්බන්ධ චරිත වලට යම් අපහසුතාවයක් සිදු වේ යැයි හැඟුණු නිසාවෙන් මේ ලිපිය නොලියවිණි. නැවතත් මේ ලිපිය ලියා දමන්නට ඕනැ යැයි සිතට වද දුන්නේ “අසේනිය කුසුම” සාහිත්‍ය උළෙලෙහි බ්ලොග් කරණ අංශයෙහි සම්මාන පිදුණු බවට දැන ගන්නට ලැබුණු බැවිනි.

“අසේනිය කුසුම” මුල් වරට පැවැත්වෙන්නේ 2009 වසරේදී යැයි මගේ මතකයේ පවතී. අපේ පරම්පරාවට ගව් ගණනක් එහාට ගිය පාසල් ශිෂ්‍යන්ගේ මේ ව්‍යායාමය අපගේ සතුටට හේතු විය. ඊටත් වඩා සිංහල බ්ලොග් අවකාශයට ලැබුනු යම් අකාරයක දිරි ගැන්වීමක් වූ එය එවකටත් බ්ලොග් කරණය ප්‍රචලිත කිරීමට වෑයම් කරමින් සිටි අපට ලැබුනු තල්ලුවක් යැයි සිතමි. මේ තරඟාවලිය විනිශ්චය කිරීමට පැමිණෙන්නැයි ආරාධනා කලේ එවකට සිංහල බ්ලොග් අවකාශයට පාසල් සිසුවකුව සිටිමින් දායකත්වය සැපයූ බ්ලොග් කරුවෙකි. ඔහු රාජකීය විදුහලේ මෙම කලා උළෙලෙහි බොහෝ බරක් ඇදි සිසුවෙකි. එම ආරාධනය පිළි ගන්නට දෙපාරක් සිතුවේ නැත. අප සිටියේ ඒ පිළිබඳ උද්යෝගයකින් ඇළලෙමිනි. ඒ ගැන පොඩ් කාස්ට්යක්ද අප අතින් කෙරුණේ ඒ අනුවය.

මට අමතරව මේ සඳහා එකතු වුයේ බ්ලොග් අවකාශයේ ප්‍රවීණයෙක්, බ්ලොග් නොලිව්වද ප්‍රතිචාරාවකාශය හරහා සක්‍රීයව දායකත්වය සැපයූ අයෙක් සහ බ්ලොග් අවකාශයට ආගන්තුක වූ වේදිකා නාට්‍යය කරුවකුත් ය. මීට අමතරව විද්‍යාලය නියෝජනය කරමින් එක විනුසරකු ඇතුලත්ව පස් දෙනෙකු මුලු විනිශ්චය මණ්ඩලය නියෝජනය කලහ. අප පස්දෙනා අවසාන තේරිම් සඳහා එක ඉරු දිනක රැස්වූයේ රාජකීය විදුහලටය. නොයෙක් වාද විවාද කරමින් , සටහන් තබා ගනිමින් අවසානයේ දුන් ලකුණු අනුව බ්ලොග් අඩවි ඒ ඒ අංශ වලින් සම්මාන සඳහා තෝරා ගැනිනි. මගේ මතකයේ හැටියට එක් සම්මානයක් සඳහා ලකුණු සමවූ අවස්ථාවක ඡන්ද විමසීමට පවා සිදුවිය.

ප්‍රශ්නය ආරම්භ වූයෙ ඉන් පසුවය. අපේ විනිශ්චයට අනුව “හොඳම සමූහ බ්ලොග් අඩවිය” ලෙස තෝරා ගැනුනේ බූන්දි අඩවියයි. එය විනිශ්චය මණ්ඩලයේ සියලුම දෙනාගේ තේරිම විය. අවාසනාවකට ඉන් දින කිහිපයකට පසු සම්මාන උළෙලට පෙර මා ඇමතූ අපට ආරාධනා කල සිසුවා කියා සිටියේ බූන්දි අඩවියට සම්මාන ලබා දීම පාසල ඇතුලතින් ප්‍රතික්ෂේප කර ඇති වගය. ඒ පිළිබඳ විමසූ විට දැන ගන්නට ලැබුනේ එවැනි අඩවියකට සම්මාන ප්‍රධානය නොසුදුසු බවය. මම වහාම අපේ විනිශ්චය මණ්ඩලයේ සේස්සන් ඇමතුවෙමි. ඔවුන්ගේ මතය වූයේ බූන්දි අඩවියට සම්මානය ලැබිය යුතු බවත් එසේ නොවේ නම් අප මෙම උළෙල වර්ජනය කල යුතු බවත්ය. අවසානයේ අපගේ නම් විනිශ්චය කරුවන් ලෙසට සඳහන් නොකරන ලෙසට එම සිසුවාට දැනුම් දුන්නෙමි.

ලංකාවේ පාසලක කළා උළෙලක් ළඟා විය හැකි මට්ටමෙන් ඔබ්බට ගමන් කර තිබූ “අසේනිය කුසුම” නරඹන්නට ආසාවෙන් සිටි මුත් කොළඹ විශ්ව විද්‍යාලය අසලටම ගොස් නැවත හැරී ආවෙමි. බූන්දියට සම්මානය අහිමි වූයෙ එය කරමින් සිටි ප්‍රකාශ කරමින් සිටි අදහස් සමුදාය නිසා යැයි සිතමි. “හොඳම සමූහ බ්ලොග් අඩවිය” ලෙස තෝරා ගැනීමට බූන්දිය තරම් වෙනත් අඩවියක් තිබුනේ නැත. අදටත් බ්ලොග් අවකාශයෙහි බූන්දිය තරම් සාමූහික ප්‍රයත්නයක් දරන අඩවියක් නැත.

අප ජීවත්වෙන සමාජයෙහි සැම තැනකම දේශපාලනය හා බැඳී පවතින මුත් ඒ ගැන බ්ලොග් අවකාශයේ කතා කිරීමේ වරදට බූන්දියට එම සම්මානය අහිමි වී යැයි සිතමි. සම්මානය නොලැබීම බූන්දිය ආපස්සට යැවීමට හේතු වූවා යැයි නොසිතමි. අදත් බ්ලොග් අවකාශයෙහි එය තම වගකීම ඉටු කරමින් සිටී. එසේ වුවව මා පුද්ගලිකව කණගාටු වූයේ ඒ සාමූහිත්වයේ වෙහෙස මහන්සියට ලැබිය යුතුව තිබූ යම් ඇගයීමක් එයට නොලැබී ගිය හෙයිනි. බ්ලොග් කරණය තව තවත් ප්‍රචාරය කිරීමට අප වෙහෙසෙමින් සිටි ඒ කාලයේ බූන්දිය අප බලාපොරොත්තතු වූ තැනකට බ්ලොග් අවකාශය ගෙන යාමේ කාර්යය කරමින් සිටියේ ය. එය අදත් කරමින් සිටී. එහෙත් මම එක කියමින් ප්‍රතිචාර දමා ගෙන පිට කසා ගන්නා සිඟිති බ්ලොග් අවකාශයට මෙවැනි ලිපි මග හැරෙනු ඇත. නමුත් බූන්දිය තවත් එවැනි ලිපි හරහා ලාංකේය සමාජය ආමන්ත්‍රණය කරන්නට උත්සහ දරනු ඇත.

රාජකීය විද්‍යාලයෙහි “අසේනිය කුසුම” අප පාසල් සිසුන් ව සිටි අවධියේ කල දේට වඩා පියවරක් බොහෝ ගණනක් ඉදිරියට ගියේ යැයි නැවත වතාවක් කියමි. එහෙත් බූන්දිය නිසා හිත පෑරුණු තැනක් තිබේ. මා මෙය ලියා තැබුයේ ඒ පිළිබඳව සේස්සන් දැන ගත යුතුව ඇතැයි සිතූ බැවිනි.

ඔබ හිතන්නනේ බ්ලොග් කරණය යනු කුමක කියාද ?

මේ ලිපිය http://www.chamiladealwis.com/what-do-you-think-blogging-is/ හි පරිවර්තනයකි. කමෙන්ටුවක් මගින් අවසර ලබා ගෙන පරිවර්තනය කරන ලදී.

මෙහි සඳහන් දේ බොහෝ විට අදාල වන්නේ සිංහල බ්ලොග් අවකාශයටය. නමුත් ඔබේ බ්ලොග් අවකාශයත් මෙලෙස හැසිරෙයි නම් සැලකිලිමත් වන්න. හැඟීම්බර බ්ලොග් කරුවෝ පැමිණෙමින් සිටිති.

ලිංගිකත්වය , බස් රථයේ ජැක් ගැසීම හෝ මිනිසුන් අතර කලබලයක් ඇති කරණ කුමන හෝ කුණු ගොඩක් ලියන්න.

කාන්තාවන් සඳහා

ඔබ කාන්තාවක් නම් පිරිමින් සහ ඔවුන්ගේ ලිංගිකත්වයට ඇති කෑදර කම ගැන ලියන්න. ඉන් අනතුරුව පිරිමින් විශාල ගණනක් ඔබේ ලිපියෙහි කරුණු වලට එරෙහිව කරුණු දක්වන තෙක් සිටින්න. ඔවුන් එසේ කරන්නේ ඔබේ අවධානය දිනා ගනු පිණිසය.

ඔවුන් ගෙනෙන තර්ක වලට විරුද්ධව දැන් තර්ක ගොඩ නගන්න.හඳුනාගත් කිහිප දෙනෙක් ඉලක්ක කර ගෙන උපරිම ශක්තිය යොදවා පහර දෙන්න. ඔබේ පවුලේ සාමාජිකයින් පවා සහබාගි කර ගත හැකි නම් සුදුසුය. දැන් මානසිකව බිඳ වැටුනු බව පෙන්වන්න. තර්ක ගොඩ නගන්නන් නිසා ඔබේ ජීවිතය අවුල් ජාලාවක් වී ඇති බව පවසන්න. දිවි නසා ගන්නා බවට තර්ජනය කරන්න.

බ්ලොගය වසා දමන්න. තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් පිවිසිය හැකා පරිදි සකස් කරන්න. ඔබේ පුංචි ජාලය ඇතුලත ඔවුන් සිටිනා බව ඔවුන් අනිත් අයට දන්වනු ඇත.
ෆේස්බුකියෙහි හෝ ට්විටර් වැනි තැන් වල හැමෝටම පෙනෙන සේ දිවි නසා ගන්නා බව කියමින් යම් යම් දේ ලියන්න. දැන් පිරිමි කියවන්නෝ මෝඩ වැඩ නොකර සන්සුන් වන ලෙස කියමින් ඔබව සනසවන අයුරු නිරීක්ෂණය කරන්න. අති සංවේදී සාන්තුවරියන් ලෙස පෙනී සිටීමට කැමති නෝනලාද එසේ කරනු ඇත.

ඔබ බ්ලොග් කරණය සදහටම අත් හරින බව කියන්න.

නමුත් වැරදිලාවත් දිවි නසා නොගන්න. එසේ කරනවා යැයි කීම ජනප්‍රිය වීමේ උපක්‍රමයක් පමණි.

දින කිහිපයක් ඉවසන්න. ඔබේ බ්ලොගය නැවත විවෘත කරන ලෙසට ඊ මේල පණිවුඩ ලැබෙනු ඇත. සමහර විට කිසි කෙනෙක් එසේ නොකිරීමට ඉඩ ඇත. එසේ වුවහොත් කලබල නොවන්න.

දැන් ඔබේ බ්ලොගය සතියකට වඩා වසා තබන්න එපා. උපරිම දින 10 කි.

දැන් බ්ලොගය විවෘත කරන්න. එසේ කලේ ඔබේ යහලුවන් ඔවුන් දිවි නසා ගන්නා බවටතර්ජනය කල නිසා යැයි කියන්න.

පිරිමින් උදෙසා

ඔබේ ලිපිය ගැන යම් කිසි අයෙක් අවධානය යොමු කරන්නේදැයි ඉවසා බලා සිටින්න. බොහො විට එය කිසි කෙනෙක් සම්පූර්ණයෙන් අවධානය යොමු කර නොතිබීමට ඉඩ ඇත.

දැන් බ්ලොග් ලියන්නියක් ලියා ඇති ලිංගිකත්වය හෝ ජැක් ගැසීම ගැන හෝ වෙනත් මළ හෝන්තුවක් ගැන ලිපියක් සොයා ගන්න. ඔබ කිසි ගේමක් නැතුව අනිත් පාර්ශවයේ කැමැත්ත ඇතුව ජැක් ගසන සිරා පොරක් බව කියා ප්‍රතිචාරයක් දමන්න.

දැන් මේ යුද්ධය අස්සේ බ්ලොග් අවකාශයේ හොඳම බඩු කාරයයා කවුදැයි සොයන විට ඔබ අපේක්ෂා කල ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මේ යුද්ධය ඇතිවී ටික දිනක් යන විට සියලු දෙනාටම සංසුන් වන සේ කියමින් ලිපියක් ලියමින් ලෝක සාමයේ සුදු පරවියා සේ රඟන්න.

ඔබ සිතා සිටින බ්ලොග් කරණය කුමක් කියා වුනත් එය ඉහත ආකාරයේ නොවිය යුතු යැයි සිතමු. අඩුම ගානේ ඉස්සරහට බ්ලොග් ලියන උන් ටික වත් බේර ගමු.

හෘද සාක්ෂියේ ඛේදවාචකය හෙවත් ලාංකේය සමාජය

ලාංකේය හෘද සාක්ෂිය පිළිබදව අප අතින් මීට පෙර බ්ලොග් ලිපි වල බොහෝ විට ලියැවුණි. මේ ලිපිය ලියන්න ට හේ තු සාධක අප හට ඕනෑ තරම් විය. හිරි වැටුණු සමාජ සංවේදනයකට උරුම කම් කියන ලාංකේය සාඩම්බරත්වයට එරෙහිව නැගී සිටින්නේ කෙසේ දැයි අප දන්නේ නැත. එක්කෝ අප මේ හෘද සාක්ෂිය අහිමිව හිරි වැටී ගිය සමාජයට අතුල් පහරවල් එල්ල කල යුතුය. එසේත් නැති නම් හිරි වැටුණවුන් සේ බලා සිටිය යුතුය.

මේ ලියැවීමට පාදක කර ගන්නට වූ මුල්ම සිදු වීම අම්පාරේ සිද්ධියකි. එනම් ගම්මුන් එකතුව අපරාධකරුවකු මරා දැමූ පුවතය. අපරාධකරුවකු මරා දැමීම එතරම් දෙයක් නොවේ යැයි ද එය එසේ විය යුතු යැයි ද කියනවුන් වර්තමාන සමාජ භූමීකාව තුල අපිට බුරුතු පිටින් සොයා ගත හැකි වන නමුදු එම නිසා ඒ පිටි පස සැඟවුනු අනතුර ප්‍රශ්න නොකර සිටීමට අපට නොහැක. අපට පැන නැගෙන මූලික ප්‍රශ්නය මේ කැළෑ නීතිය විසින් අපේ සමාජය දක්කා ගෙන යනු ලබන්නේ කොතැනටකට ද යන්නයි. ශිෂ්ටත්වයෙන් අපවර්තනය වන ලාංකේය සමාජයේ දී හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීමේ අසීරුව පවත්නා මොහොතේ දී වඩාත් තදින්ම අප හට දැනෙන් නේ එහෙයිනි. අද දවසේ පාතාලය මර්ධනය උදෙසා අනුගමනය කරන ක්‍රියා මාරගය අපි සැවොම දනිමු. මෙය සාමාන්‍ය සමාජයේ ආවේගයන්ට අනුව වඩාත් නිවැරදිම ක්‍රියා මාර්ගය ලෙස අර්ථ දැක්වෙනුනිසැකය. එහෙත් නීති පද්ධතියකින් සහ ශිෂ්ඨත්වය පිළිබද පුරසාරම් දොඩවන ලාංකේය සමාජයේ ඉරණම කොයිබට ද යන ප්‍රශ්නය ඒ සෑම පුවතක් පිටු පසම සැඟව පවතී.

රෝහිත භාෂණ වරෙක මෙසේ කීවේය. “යුගයේ මිනිස් හෘද සාක්ෂිය යනු ලේ වැකුණු පාපන්දුවකි, අපි කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”. යථාර්තය එය නම් එයට පිටු පෑමට සිතීම එක්තරා අනදමකට මෝඩ කමක් වන්නේය. නමුදු අප ජීවත් වන යුගය මතින් පිය මනින්නේ කොතැනටදැයි අපි නැවත නැවතත් ප්‍රශ්න කල යුතුය. නැවතත් මේ සංවාදයේ මුලින් මතුකල ප්‍රශ්නය දෙසට නැවත හැරී බලමු. එනම් ලාංකේය සමාජ සංවේදනය මේ තරමටම අසංවේදී ඇයිද යන්නය.

පවත්නා යුගය එහෙයි කියන්නන් හට වෙන්වුන යුගයකි. එසේ කරන්නට බැඳී නොසිටවුන් හට අනතුරු දායක යුගයකි. පවත්නා සමාජ ක්‍රමය අපට කියමින් සිටින්නේ කුමක් ද? තමන්ගේ වැඩක් බලාගෙන සිටින ලෙසයි. එනම් යුගයේ දේශ ප්‍රේමීයා ගේ භූමිකාව ප්‍රශ්න නොකර රඟපෑමයි .ඒ අනුව තමන් අවට පවතින සමාජය ප්‍රශ්න කිරීමට හෝ ඊට එරෙහිව නැගී සිටිම දේශ ද්‍රොහී භාවය ලෙස සැලකෙන යුගයකදීය. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ අපට බ්ලොග් අවකාශයෙන්ම සොයා ගත හැක. මේ සියලු නිර්ණය කිරීම් වලට අනුව කලකදී ජන සමාජයේ හතුරකු වූ කරුණා අම්මාන් දේශ ප්‍රේමීයකු වන්නේය.

ලාංකේය සම්ජය ඉතා වේගයෙන් සිය සමාජ වගකීම් අමතක කොට ස්වකීය තනි තනි ගේම් ගසන්නන්ගේ පාරාදීසයක් බවට පත් වීම අපි තැති ගැන්මෙන් යුතුව බලා සිටිමු. නීතිය  විසින් විසඳිය යුතු ප්‍රශ්න වෙනුවට කැළෑ නීතිය රජ කරන්නට පටන් ගෙන ඇති යුගයේ ත්‍රාසජනක භාවය පිළිබදව අමුතු පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.
මේ ලිපිය හැදින්වීමක් පමණි. සංවාදය ඉදිරියට ගොඩ නගමු.