අසේනිය කුසුමෙහි (සිංහල බ්ලොග්කරණ තරඟාවලිය) නොකියවුණු කතාවක් : එය සැබෑ කුසුමක් ද?

අත් වැරදීමකින් ඊයෙ දිනයෙහි ලිපිය මැකී ගිය නිසා නැවත පල කරන ලදී.

මේ ලිපිය ලියන්නට තිබුනේ මීට බොහෝ කලකට පෙරය. එහෙත් ලිවීමට වූ මොකද්දෝ කුසීත කම නිසාත් ඒ අවදියේ පාසල් යමින් උන් මේ කතාවට සම්බන්ධ චරිත වලට යම් අපහසුතාවයක් සිදු වේ යැයි හැඟුණු නිසාවෙන් මේ ලිපිය නොලියවිණි. නැවතත් මේ ලිපිය ලියා දමන්නට ඕනැ යැයි සිතට වද දුන්නේ “අසේනිය කුසුම” සාහිත්‍ය උළෙලෙහි බ්ලොග් කරණ අංශයෙහි සම්මාන පිදුණු බවට දැන ගන්නට ලැබුණු බැවිනි.

“අසේනිය කුසුම” මුල් වරට පැවැත්වෙන්නේ 2009 වසරේදී යැයි මගේ මතකයේ පවතී. අපේ පරම්පරාවට ගව් ගණනක් එහාට ගිය පාසල් ශිෂ්‍යන්ගේ මේ ව්‍යායාමය අපගේ සතුටට හේතු විය. ඊටත් වඩා සිංහල බ්ලොග් අවකාශයට ලැබුනු යම් අකාරයක දිරි ගැන්වීමක් වූ එය එවකටත් බ්ලොග් කරණය ප්‍රචලිත කිරීමට වෑයම් කරමින් සිටි අපට ලැබුනු තල්ලුවක් යැයි සිතමි. මේ තරඟාවලිය විනිශ්චය කිරීමට පැමිණෙන්නැයි ආරාධනා කලේ එවකට සිංහල බ්ලොග් අවකාශයට පාසල් සිසුවකුව සිටිමින් දායකත්වය සැපයූ බ්ලොග් කරුවෙකි. ඔහු රාජකීය විදුහලේ මෙම කලා උළෙලෙහි බොහෝ බරක් ඇදි සිසුවෙකි. එම ආරාධනය පිළි ගන්නට දෙපාරක් සිතුවේ නැත. අප සිටියේ ඒ පිළිබඳ උද්යෝගයකින් ඇළලෙමිනි. ඒ ගැන පොඩ් කාස්ට්යක්ද අප අතින් කෙරුණේ ඒ අනුවය.

මට අමතරව මේ සඳහා එකතු වුයේ බ්ලොග් අවකාශයේ ප්‍රවීණයෙක්, බ්ලොග් නොලිව්වද ප්‍රතිචාරාවකාශය හරහා සක්‍රීයව දායකත්වය සැපයූ අයෙක් සහ බ්ලොග් අවකාශයට ආගන්තුක වූ වේදිකා නාට්‍යය කරුවකුත් ය. මීට අමතරව විද්‍යාලය නියෝජනය කරමින් එක විනුසරකු ඇතුලත්ව පස් දෙනෙකු මුලු විනිශ්චය මණ්ඩලය නියෝජනය කලහ. අප පස්දෙනා අවසාන තේරිම් සඳහා එක ඉරු දිනක රැස්වූයේ රාජකීය විදුහලටය. නොයෙක් වාද විවාද කරමින් , සටහන් තබා ගනිමින් අවසානයේ දුන් ලකුණු අනුව බ්ලොග් අඩවි ඒ ඒ අංශ වලින් සම්මාන සඳහා තෝරා ගැනිනි. මගේ මතකයේ හැටියට එක් සම්මානයක් සඳහා ලකුණු සමවූ අවස්ථාවක ඡන්ද විමසීමට පවා සිදුවිය.

ප්‍රශ්නය ආරම්භ වූයෙ ඉන් පසුවය. අපේ විනිශ්චයට අනුව “හොඳම සමූහ බ්ලොග් අඩවිය” ලෙස තෝරා ගැනුනේ බූන්දි අඩවියයි. එය විනිශ්චය මණ්ඩලයේ සියලුම දෙනාගේ තේරිම විය. අවාසනාවකට ඉන් දින කිහිපයකට පසු සම්මාන උළෙලට පෙර මා ඇමතූ අපට ආරාධනා කල සිසුවා කියා සිටියේ බූන්දි අඩවියට සම්මාන ලබා දීම පාසල ඇතුලතින් ප්‍රතික්ෂේප කර ඇති වගය. ඒ පිළිබඳ විමසූ විට දැන ගන්නට ලැබුනේ එවැනි අඩවියකට සම්මාන ප්‍රධානය නොසුදුසු බවය. මම වහාම අපේ විනිශ්චය මණ්ඩලයේ සේස්සන් ඇමතුවෙමි. ඔවුන්ගේ මතය වූයේ බූන්දි අඩවියට සම්මානය ලැබිය යුතු බවත් එසේ නොවේ නම් අප මෙම උළෙල වර්ජනය කල යුතු බවත්ය. අවසානයේ අපගේ නම් විනිශ්චය කරුවන් ලෙසට සඳහන් නොකරන ලෙසට එම සිසුවාට දැනුම් දුන්නෙමි.

ලංකාවේ පාසලක කළා උළෙලක් ළඟා විය හැකි මට්ටමෙන් ඔබ්බට ගමන් කර තිබූ “අසේනිය කුසුම” නරඹන්නට ආසාවෙන් සිටි මුත් කොළඹ විශ්ව විද්‍යාලය අසලටම ගොස් නැවත හැරී ආවෙමි. බූන්දියට සම්මානය අහිමි වූයෙ එය කරමින් සිටි ප්‍රකාශ කරමින් සිටි අදහස් සමුදාය නිසා යැයි සිතමි. “හොඳම සමූහ බ්ලොග් අඩවිය” ලෙස තෝරා ගැනීමට බූන්දිය තරම් වෙනත් අඩවියක් තිබුනේ නැත. අදටත් බ්ලොග් අවකාශයෙහි බූන්දිය තරම් සාමූහික ප්‍රයත්නයක් දරන අඩවියක් නැත.

අප ජීවත්වෙන සමාජයෙහි සැම තැනකම දේශපාලනය හා බැඳී පවතින මුත් ඒ ගැන බ්ලොග් අවකාශයේ කතා කිරීමේ වරදට බූන්දියට එම සම්මානය අහිමි වී යැයි සිතමි. සම්මානය නොලැබීම බූන්දිය ආපස්සට යැවීමට හේතු වූවා යැයි නොසිතමි. අදත් බ්ලොග් අවකාශයෙහි එය තම වගකීම ඉටු කරමින් සිටී. එසේ වුවව මා පුද්ගලිකව කණගාටු වූයේ ඒ සාමූහිත්වයේ වෙහෙස මහන්සියට ලැබිය යුතුව තිබූ යම් ඇගයීමක් එයට නොලැබී ගිය හෙයිනි. බ්ලොග් කරණය තව තවත් ප්‍රචාරය කිරීමට අප වෙහෙසෙමින් සිටි ඒ කාලයේ බූන්දිය අප බලාපොරොත්තතු වූ තැනකට බ්ලොග් අවකාශය ගෙන යාමේ කාර්යය කරමින් සිටියේ ය. එය අදත් කරමින් සිටී. එහෙත් මම එක කියමින් ප්‍රතිචාර දමා ගෙන පිට කසා ගන්නා සිඟිති බ්ලොග් අවකාශයට මෙවැනි ලිපි මග හැරෙනු ඇත. නමුත් බූන්දිය තවත් එවැනි ලිපි හරහා ලාංකේය සමාජය ආමන්ත්‍රණය කරන්නට උත්සහ දරනු ඇත.

රාජකීය විද්‍යාලයෙහි “අසේනිය කුසුම” අප පාසල් සිසුන් ව සිටි අවධියේ කල දේට වඩා පියවරක් බොහෝ ගණනක් ඉදිරියට ගියේ යැයි නැවත වතාවක් කියමි. එහෙත් බූන්දිය නිසා හිත පෑරුණු තැනක් තිබේ. මා මෙය ලියා තැබුයේ ඒ පිළිබඳව සේස්සන් දැන ගත යුතුව ඇතැයි සිතූ බැවිනි.

ඔබ හිතන්නනේ බ්ලොග් කරණය යනු කුමක කියාද ?

මේ ලිපිය http://www.chamiladealwis.com/what-do-you-think-blogging-is/ හි පරිවර්තනයකි. කමෙන්ටුවක් මගින් අවසර ලබා ගෙන පරිවර්තනය කරන ලදී.

මෙහි සඳහන් දේ බොහෝ විට අදාල වන්නේ සිංහල බ්ලොග් අවකාශයටය. නමුත් ඔබේ බ්ලොග් අවකාශයත් මෙලෙස හැසිරෙයි නම් සැලකිලිමත් වන්න. හැඟීම්බර බ්ලොග් කරුවෝ පැමිණෙමින් සිටිති.

ලිංගිකත්වය , බස් රථයේ ජැක් ගැසීම හෝ මිනිසුන් අතර කලබලයක් ඇති කරණ කුමන හෝ කුණු ගොඩක් ලියන්න.

කාන්තාවන් සඳහා

ඔබ කාන්තාවක් නම් පිරිමින් සහ ඔවුන්ගේ ලිංගිකත්වයට ඇති කෑදර කම ගැන ලියන්න. ඉන් අනතුරුව පිරිමින් විශාල ගණනක් ඔබේ ලිපියෙහි කරුණු වලට එරෙහිව කරුණු දක්වන තෙක් සිටින්න. ඔවුන් එසේ කරන්නේ ඔබේ අවධානය දිනා ගනු පිණිසය.

ඔවුන් ගෙනෙන තර්ක වලට විරුද්ධව දැන් තර්ක ගොඩ නගන්න.හඳුනාගත් කිහිප දෙනෙක් ඉලක්ක කර ගෙන උපරිම ශක්තිය යොදවා පහර දෙන්න. ඔබේ පවුලේ සාමාජිකයින් පවා සහබාගි කර ගත හැකි නම් සුදුසුය. දැන් මානසිකව බිඳ වැටුනු බව පෙන්වන්න. තර්ක ගොඩ නගන්නන් නිසා ඔබේ ජීවිතය අවුල් ජාලාවක් වී ඇති බව පවසන්න. දිවි නසා ගන්නා බවට තර්ජනය කරන්න.

බ්ලොගය වසා දමන්න. තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් පිවිසිය හැකා පරිදි සකස් කරන්න. ඔබේ පුංචි ජාලය ඇතුලත ඔවුන් සිටිනා බව ඔවුන් අනිත් අයට දන්වනු ඇත.
ෆේස්බුකියෙහි හෝ ට්විටර් වැනි තැන් වල හැමෝටම පෙනෙන සේ දිවි නසා ගන්නා බව කියමින් යම් යම් දේ ලියන්න. දැන් පිරිමි කියවන්නෝ මෝඩ වැඩ නොකර සන්සුන් වන ලෙස කියමින් ඔබව සනසවන අයුරු නිරීක්ෂණය කරන්න. අති සංවේදී සාන්තුවරියන් ලෙස පෙනී සිටීමට කැමති නෝනලාද එසේ කරනු ඇත.

ඔබ බ්ලොග් කරණය සදහටම අත් හරින බව කියන්න.

නමුත් වැරදිලාවත් දිවි නසා නොගන්න. එසේ කරනවා යැයි කීම ජනප්‍රිය වීමේ උපක්‍රමයක් පමණි.

දින කිහිපයක් ඉවසන්න. ඔබේ බ්ලොගය නැවත විවෘත කරන ලෙසට ඊ මේල පණිවුඩ ලැබෙනු ඇත. සමහර විට කිසි කෙනෙක් එසේ නොකිරීමට ඉඩ ඇත. එසේ වුවහොත් කලබල නොවන්න.

දැන් ඔබේ බ්ලොගය සතියකට වඩා වසා තබන්න එපා. උපරිම දින 10 කි.

දැන් බ්ලොගය විවෘත කරන්න. එසේ කලේ ඔබේ යහලුවන් ඔවුන් දිවි නසා ගන්නා බවටතර්ජනය කල නිසා යැයි කියන්න.

පිරිමින් උදෙසා

ඔබේ ලිපිය ගැන යම් කිසි අයෙක් අවධානය යොමු කරන්නේදැයි ඉවසා බලා සිටින්න. බොහො විට එය කිසි කෙනෙක් සම්පූර්ණයෙන් අවධානය යොමු කර නොතිබීමට ඉඩ ඇත.

දැන් බ්ලොග් ලියන්නියක් ලියා ඇති ලිංගිකත්වය හෝ ජැක් ගැසීම ගැන හෝ වෙනත් මළ හෝන්තුවක් ගැන ලිපියක් සොයා ගන්න. ඔබ කිසි ගේමක් නැතුව අනිත් පාර්ශවයේ කැමැත්ත ඇතුව ජැක් ගසන සිරා පොරක් බව කියා ප්‍රතිචාරයක් දමන්න.

දැන් මේ යුද්ධය අස්සේ බ්ලොග් අවකාශයේ හොඳම බඩු කාරයයා කවුදැයි සොයන විට ඔබ අපේක්ෂා කල ප්‍රතිලාභ ලැබෙනු ඇත.

මේ යුද්ධය ඇතිවී ටික දිනක් යන විට සියලු දෙනාටම සංසුන් වන සේ කියමින් ලිපියක් ලියමින් ලෝක සාමයේ සුදු පරවියා සේ රඟන්න.

ඔබ සිතා සිටින බ්ලොග් කරණය කුමක් කියා වුනත් එය ඉහත ආකාරයේ නොවිය යුතු යැයි සිතමු. අඩුම ගානේ ඉස්සරහට බ්ලොග් ලියන උන් ටික වත් බේර ගමු.

හෘද සාක්ෂියේ ඛේදවාචකය හෙවත් ලාංකේය සමාජය

ලාංකේය හෘද සාක්ෂිය පිළිබදව අප අතින් මීට පෙර බ්ලොග් ලිපි වල බොහෝ විට ලියැවුණි. මේ ලිපිය ලියන්න ට හේ තු සාධක අප හට ඕනෑ තරම් විය. හිරි වැටුණු සමාජ සංවේදනයකට උරුම කම් කියන ලාංකේය සාඩම්බරත්වයට එරෙහිව නැගී සිටින්නේ කෙසේ දැයි අප දන්නේ නැත. එක්කෝ අප මේ හෘද සාක්ෂිය අහිමිව හිරි වැටී ගිය සමාජයට අතුල් පහරවල් එල්ල කල යුතුය. එසේත් නැති නම් හිරි වැටුණවුන් සේ බලා සිටිය යුතුය.

මේ ලියැවීමට පාදක කර ගන්නට වූ මුල්ම සිදු වීම අම්පාරේ සිද්ධියකි. එනම් ගම්මුන් එකතුව අපරාධකරුවකු මරා දැමූ පුවතය. අපරාධකරුවකු මරා දැමීම එතරම් දෙයක් නොවේ යැයි ද එය එසේ විය යුතු යැයි ද කියනවුන් වර්තමාන සමාජ භූමීකාව තුල අපිට බුරුතු පිටින් සොයා ගත හැකි වන නමුදු එම නිසා ඒ පිටි පස සැඟවුනු අනතුර ප්‍රශ්න නොකර සිටීමට අපට නොහැක. අපට පැන නැගෙන මූලික ප්‍රශ්නය මේ කැළෑ නීතිය විසින් අපේ සමාජය දක්කා ගෙන යනු ලබන්නේ කොතැනටකට ද යන්නයි. ශිෂ්ටත්වයෙන් අපවර්තනය වන ලාංකේය සමාජයේ දී හෘද සාක්ෂියක් ඇතිව ජීවත් වීමේ අසීරුව පවත්නා මොහොතේ දී වඩාත් තදින්ම අප හට දැනෙන් නේ එහෙයිනි. අද දවසේ පාතාලය මර්ධනය උදෙසා අනුගමනය කරන ක්‍රියා මාරගය අපි සැවොම දනිමු. මෙය සාමාන්‍ය සමාජයේ ආවේගයන්ට අනුව වඩාත් නිවැරදිම ක්‍රියා මාර්ගය ලෙස අර්ථ දැක්වෙනුනිසැකය. එහෙත් නීති පද්ධතියකින් සහ ශිෂ්ඨත්වය පිළිබද පුරසාරම් දොඩවන ලාංකේය සමාජයේ ඉරණම කොයිබට ද යන ප්‍රශ්නය ඒ සෑම පුවතක් පිටු පසම සැඟව පවතී.

රෝහිත භාෂණ වරෙක මෙසේ කීවේය. “යුගයේ මිනිස් හෘද සාක්ෂිය යනු ලේ වැකුණු පාපන්දුවකි, අපි කල යුත්තේ ඊට පෙරලා පහර දී හැකි තරම් ඉන් ඈත් වීමය”. යථාර්තය එය නම් එයට පිටු පෑමට සිතීම එක්තරා අනදමකට මෝඩ කමක් වන්නේය. නමුදු අප ජීවත් වන යුගය මතින් පිය මනින්නේ කොතැනටදැයි අපි නැවත නැවතත් ප්‍රශ්න කල යුතුය. නැවතත් මේ සංවාදයේ මුලින් මතුකල ප්‍රශ්නය දෙසට නැවත හැරී බලමු. එනම් ලාංකේය සමාජ සංවේදනය මේ තරමටම අසංවේදී ඇයිද යන්නය.

පවත්නා යුගය එහෙයි කියන්නන් හට වෙන්වුන යුගයකි. එසේ කරන්නට බැඳී නොසිටවුන් හට අනතුරු දායක යුගයකි. පවත්නා සමාජ ක්‍රමය අපට කියමින් සිටින්නේ කුමක් ද? තමන්ගේ වැඩක් බලාගෙන සිටින ලෙසයි. එනම් යුගයේ දේශ ප්‍රේමීයා ගේ භූමිකාව ප්‍රශ්න නොකර රඟපෑමයි .ඒ අනුව තමන් අවට පවතින සමාජය ප්‍රශ්න කිරීමට හෝ ඊට එරෙහිව නැගී සිටිම දේශ ද්‍රොහී භාවය ලෙස සැලකෙන යුගයකදීය. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ අපට බ්ලොග් අවකාශයෙන්ම සොයා ගත හැක. මේ සියලු නිර්ණය කිරීම් වලට අනුව කලකදී ජන සමාජයේ හතුරකු වූ කරුණා අම්මාන් දේශ ප්‍රේමීයකු වන්නේය.

ලාංකේය සම්ජය ඉතා වේගයෙන් සිය සමාජ වගකීම් අමතක කොට ස්වකීය තනි තනි ගේම් ගසන්නන්ගේ පාරාදීසයක් බවට පත් වීම අපි තැති ගැන්මෙන් යුතුව බලා සිටිමු. නීතිය  විසින් විසඳිය යුතු ප්‍රශ්න වෙනුවට කැළෑ නීතිය රජ කරන්නට පටන් ගෙන ඇති යුගයේ ත්‍රාසජනක භාවය පිළිබදව අමුතු පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.
මේ ලිපිය හැදින්වීමක් පමණි. සංවාදය ඉදිරියට ගොඩ නගමු.

නිර්ණාමික බ්ලොග් කරණය , තර්ජන සහ බ්ලොග් අවකාශය

නිර්ණාමික බ්ලොග් කරණය සහ ප්‍රතිචාර පල කිරීම පිළිබඳව නොයෙකුත් මතවාද සිංහල බ්ලොග් අවකාශය තුල පසුගිය කාලය පුරාවටම දකින්නට ලැබුනි. අපට වැඩි වශයෙන් දකින්නට තිබුනේ නිර්ණාමික බ්ලොග් කරණය හා ප්‍රතිචාර පල කිරීම පිළිබඳවඊට එරෙහි මතවාදයන්ය. නිර්ණාමිකත්වය  කශේරුකාව පිළිබද, ලියන්නාගේ කශේරුකාව පිළිබඳ ගැටලුවක් ලෙස සම්පිණ්ඩනය කෙරෙන අදහස් අපට ඕනෑ තරම් දකින්නට ලැබුනි. අපගේ මෙම  ලිපියේ අරමුණ නිර්ණාමික ප්‍රතිචාර පිළිබඳව සාකච්චා කිරීම නොව

  • නිර්ණාමික ලේඛන කලාව
  • ආරූඪ නාම
  • නිර්ණාමික බ්ලොග් කරණය 

යන සංකල්ප පිළිබඳව සංවාදයක් මතු කිරීමය.

නිර්ණාමික හෝ ආරූඪ නාම ලේඛන කලාව

නිර්ණාමික ලේඛන කලාව හෙවත් ආරූඪ නම් වලින් ලේඛන කල්වෙහි යෙදීම ලොව පුරා පිළිගත් සම්ප්‍රදායකි. ලොව පිළිගත් ලේඛකයන්, පත්‍ර කලාවේදීන් ඇතුලු  බොහෝ දෙන් නිර්ණාමිකව හෝ ආරූඪ නාම වලින් බ්ලොග් කරණයේ යෙදී ඇත. උදාහරණ ලෙස

  • මාර්ක් ට්වේන්
  • මක්සිම් ගෝර්කි
  • ලුවිස් කැරොල්
  • ස්ටීවන් කිංග්
  • ජෝජ් එලියට්
  • වී අයි ලෙනින්

ඇතුලු ඉතා දීර්ඝ ලැයිස්තුවක් අපට හමුවේ. මේ සියලු දෙනාම නොයෙකුත් හේතු මත ආරූඪ නාම වලින් ලේඛන කලාවේ නිරත වූහ. මීට අමතරව ලංකාව තුල නිර්ණාමිකව ලේඛන කලාවේ යෙදුනු ලේඛකයන් අපට ඕනෑ තරම් හමුවේ. මෙම ලේඛකයින් ගේ සැබෑ අනන්‍යතා බොහෝ කල් සඟවා පවත්තවා ගැණුනු අතර එමගින් ඔවුන්ට ඒ ඒ කාල සීමා තුල පැවති සමාජ, දේශපාලන සංස්ථාවෙන් එල්ල විය හැකි තර්ජන , පීඩා මග හරවා ගැනීමට කටයුතු යෙදිණි.

  • හික්කඩුවේ සුමංගල හිමි
  • ලසන්ත වික්‍රමතුංග
  • ඒ ජේ ගුණරත්න
  • කසුරි
  • සුන්දර නිහතමානී ද මැල්
  • වික්ටර් අයිවන්
  • විමලසිරි ගම්ලත්

ලංකාවේ ආරූඪ හෝ නිර්ණාමික ලේඛන කලාවේ යෙදුනෝ වෙති. ඒ අතර විමලසිරි ගම්ලත් පසු කාලීනව විමල් වීරවංශ ලෙස ප්‍රසිද්ධියට පත් විය. 

නිර්ණාමික බ්ලොග් කරණයේ යෙදෙන්නේ ඇයි????????
අද බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනෙකුට ඇති ගැටලුව නම් “ඇයි කෙලින් ලියන්න බැරි?”, “මොකද කොන්ද පණ නැද්ද?” ආදී දේ ය. නමුත් අප සියලු දෙනාම ලේඛන කලාවේ පිලිගත් සිද්ධාන්ත අනුව සලකා බලන විට අරුමයක් නොවන නිර්ණාමික හෙවත් ආරූඪ නම් වලින් බ්ලොග් කරණයේ යෙදීම ගැටලුවක් කර ගන්නේ ඇයිද යන්නට තේරුම් ගැනීම අසීරුයි. නමුත් ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය මතවාද හා ගැටෙන විට , විවේචනය කරන විට, රටක පවතින සමාජ දේශපාලනික ව්‍යූහයන් ප්‍රශ්න කරන විට ඊට එරෙහිව එල්ල වන ප්‍රතිචාර අතිශය දරුණුයි. සමහර විට මෙම නිසා බ්ලොග් කරුවන් සිරගත කිරීමට ලක්වුණු අවස්ථා පවා ලෝකයේ තිබෙනවා. මීට අමතරව බ්ලොක් කරුවන් හට නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වී තිබේ. සමහර විට ඔබ නොදන්නවා වුනත් ලංකාවේ සමහර බ්ලොග් කරුවන්ගේ අනන්‍යතා සඔයා ගෙන ඔවුන්ට මානසික පීඩා ගෙන දෙමින් , සමීපතමයින් හට තර්ජනය කල අවස්ථා පවා අප අත් දැක තිබේ. මේ සියල්ල සිදු වන්නේ මතවාදිමය වශයෙන් එකඟ නොවීම් දිරවා ගන්නට බැරි කම හේතුවෙන් බව ඉතා පැහැදිලිය.

නිර්ණාමික බ්ලොග් කරණයට එරෙහි වන හේතු සාධක
මෙම ලිපිය පුරා නැවත නැවතත් සඳහන් කරන පරිදි බ්ලොග් අවකාශය තුල නිර්ණාමිකත්යට එරෙහි වන්නේ තමන් දරන මතයට විරුද්ධ බ්ලොග් කරුන් ගේ නිර්ණාමිකත්වයට වීම විශේෂිතයි. බොහෝ විට තමන්ගේ මතවාදය සහ එකඟ වෙන බ්ලොග් කරුවන්ගේ නිර්ණාමිකත්වය ප්‍රශ්න කරන්නට මේ පොලු අමෝරා ගන්නා අය ඉදිරිපත් වෙන්නේ නැහැ. පසුගිය කාලය පුරා මෙම කාරණය නිසා සිංහල බ්ලොග් අවකාශය තුල සිටින නිර්ණාමික බ්ලොග් කරුවන්ට
නොයෙකුත් තර්ජන , අපහාසවලට මුහුණ දීමට සිදු වුනා. සමහරුන් මේ නිර්ණාමික බ්ලොග් කරුවන්ගේ අනන්‍යතාවයන් සෙවීමට මහත් වෙනසක් ගනු ලැබුවේ අප තැති ගැන්වීමට ද ලක් කරමින්. තවත් අය නිර්ණාමික බ්ලොග් කරුවන් ගේ අඩවි සින්ඩිකේටරයෙන් පන්නා දැමිය යුතු යැයි කියන මතවාද පවා ඉදිරිපත් කර තිබුනේ එක්තරා ආකාරයක අන්තර්ජාල චණ්ඩි පාට් රඟ දක්වමින්. නමුත් තමන් හා එකඟ නොවූ පලියට එසේ කිරීම කෙතරම් යුක්ති සහගත දැයි අපි ප්‍රශ්න කරමු.

අනන්‍යතා නිර්මාණය උදෙසා බ්ලොග් කරණය  ???????????????????????????????????
මේ  තර්ජන කරන සමහරුන්ට වැළඳී ඇති රෝගය  ලෙස අප දකින්නේ බ්ලොග් ලිවීම යන් අනන්‍යතා නිර්මාණය කර ගැනීමේ මාර්ගයක් ලෙස ඔවුන් උපකල්පනය කිරීමයි. අනන්‍යතා අහිමු වූ නූතන ලාංකිකයා හට “අහවල් බ්ලොග් එක ලියන්නෙ මම”  යනුවෙන් තෘප්තිමත්වීමට ඇති අවස්ථාව මේ බ්ලොග් කරුවන් නිසා අහිමි වන බව නොරසහකි. මන්ද නිර්ණාමිකයන් බ්ලොග් ලියන්නනේ අනන්‍යතා නිර්මාණය උදෙසා නොවන බව අප හොදාකාරව තේරුම් ගෙන සිටිනා බැවිනි. එම නිසා නිර්ණාමික බ්ලොග් කරනයට එරෙහිව කූණු හරුපයෙන් බැනීමටත් , ඔවුන්ගේ අනන්‍යතාව සොයා ගැනීම සිතමින් සිටීමෙන් සමහරවිට සිය නින්ද අහිමි කරගැනීමත් කර නොගන්නා ලෙසට මේ අයට අකමැත්තෙන් වුවත් අවවාදයක් දීමට අපට සිදු වන්නේ එහෙයිනි.

මීලඟ ලිපියෙන් තවත් සාකච්චා කරමු.

විශේේ ස්තූතිය – තොරතුරු , මූලාශ්‍ර සැපයූ ආනන්ධ වර්ධන සොයුරාහට

 

තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය 2

අප ලියූ තර්ජන තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය ලිපියට ලැබී තිබූ සමහර ප්‍රතිචාර දෙස බැලූ විට පෙනී ගියේ ඒවා මගින් අප සිටින්නේ කාගේ පිලේ යන්න දැයි ප්‍රශ්න කරන අතරේ හුදු පුද්ගල විවේචන එල්ල කරන බවත්ය. ඒ අතරින් මියගිය මහාචාර්ය සමරනායක මහතා හට අපහාස කරමින් ලියැවුණු ප්‍රතිචාර මකා ඉවත් කරන්නට සිදුවිය. එහෙත් ඒ පිළිබඳව වැඩි දුර ලියන්නට නොයන්නේ බ්ලොග් අවකාශයට සදාචාරය උගන්නන්නට අප උත්සහ නොකරන බැවිනි. මන්ද බ්ලොග් අවකාශය නිරූපනය කරන්නේ අපට එදිනෙදා හමුවන සමාජයේ කොටසක් වන බැවිනි.

අප කාගේ පිලේ ද යන්න හෙවත් කාට හරි කඩේ යනවා දැයි බවත් ප්‍රශ්නයක් මතුව තිබේ. මේ යුගයේ තවත් ජනප්‍රිය ප්‍රශ්නයක් වන එය ඇසීමෙන් සියලු ගැටලු නිරාකරණය නොවන වග මතක් කර දීමට අපට සිදු වේ.එම ලියවිල්ල සැලකිල්ලෙන් කියවා බැලුවහොත් අප මතු කරන්නට හදන කාරණාව වටහා ගත හැක. අප සිටින්නේ භාෂණයේ නිදහස පැත්තතේය. රාඦාණ්ඩුවක් මෙන් රජතුමාට එහෙයි කියාගෙන ජීව්ත් වීම පරමාදර්ශය කොටගත් ජීවිත වලට කණට ගසන්නන්නේ පිලේය. එම නිසා අහිංසකයින් වගේ පෙනෙන තක්කඩියන්, බඩු ගසන්නන් ඇතුලු සියලු දෙනා හට (පෙරදිග සුලං ට අනුව ) රිදවීම වැලැක්විය නොහැක. ඒ රිදවීම අප හට ආතල් එකක් නොව සමාජ සංවේදනය උදෙසා ඉටු කරන්නකි. අද දවසේ දී රෝහිත භාෂණ ලා රට හැර ගොසිනි. එය අපට පෙන්නුම් කරන්නේ අප වටා ඇති නිදහසේ සීමාවයි. එම නිසා අපට ඒ වෙනුවෙන් හඬක් නැගීමට අවශ්‍යව තිබේ. යුගයේ ජනප්‍රිය ප්‍රශ්නය වන “ඔයා ඉන්නෙ කාගේ පැත්තේ” අසමින් අප වෙත එන අයට කියන්නට ඇත්තේ කුමක්දැයි අප නොදනිමු. මන්ද එයට දෙන පිළිතුර කුමනාකාරයේ වුවත් අවි අමෝරා නැගී සිටීමට ප්‍රශ්න අසනා පාර්ශවය සූදානම් බැවිනි.

මේ සංවාදයට ලසන්ත ඈදා ගත්තතේ ඇයි ද යන්නත් තවත් ප්‍රශ්නයක් වී ඇත. නැවත වතාවක් ලිපිය සැලකිලෙන් කියවා බලන ලෙස ඉල්ලා සිටිමි.

“ලසන්ත ඝාතනය ගැන බ්ලොග් කරුවන් ලෙස අප හඬක් නැගිය යුතුව තිබුනේ යැයි සහෝදර බ්ලොග් කරුවකු අප හා පැවසීය. නමුදු එය ඉෂ්ඨ නොවීය. මන්ද යත් ලසන්ත දේශපාලනික වූ බැවිනි. මෙතරම් දේශපාලනී කරණය වූ රටකදී ලසන්ත දේශපාලනික චරිතයක් වීම නිසා මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස ද , ප්‍රකාශන නිදහස ද , යටපත් වන්නේ යැයි බොහෝ අය උපකල්පලනය කල බැවින් සාමූහිකව එයට එරෙහි වීමක් කරන්නට තරම් පෙළඹවීමක් කරන්නට අපට නොහැකි විය. ලසන්ත මෙතැනට අතුරු කතාවක් ලෙස ඈදා ගත්තේ බ්ලොග් කරුවකු මෙවැනි ඉරණමකට මුහුණ දුනහොත් ඊට ප්‍රතිචාර කුමන විදියේ වනු ඇතිදැයි නිගමනය කරගන්නනට සාධක එම සිද්ධි වලින් උකහා ගත හැකි බැවිනි. ”

උපුටනය – මුල් ලිපිය

ලසන්ත ගේ නම සමග කියවන ඔබට යම් කිසි ගැටුමක් ඇත්නම් ඒ වෙනුවට ඔබ කැමති කෙනෙකුගේ නම ආදේශ කර ගන්නා ලෙස ඉල්ලමු. මන්ද ලසන්ත දේශපාලනික වූ බැවින් එය සාධාරණිකරණය කරන්නට සැදී පැහැදෙන අයට මේ සමාජය ඇද වැටී තිබෙන්නා වූ ඛේදවාචකය ගම්‍ය නොවන බැවිනි. ලසන්ත වෙනුවට ආදේශ කර ගත හැකි ජීවත් ව සිටින , නොසිටින නම් ලැයිස්තුවක් මෙතැන පල කල හැක. ලසන්ත සමග දේශපාලනික 100% එකඟතාවයක් නොමැති වුවද, අදහස් ප්‍රකාශ කිරීමේ වරදට මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීම යුක්ති සහගත දැයි අපට ගැටලුවකි. ප්‍රතිචාර වල තිබූ පරිදි තමන්ට නොදිරවන බ්ලොග් කරුවන් හා යුධ වැදීමේ සීමාව කොතැනින් නිමා විය යුතු දැයි නැවත වතාවක් ප්‍රශ්න කිරීමට අපට අවශ්‍යය විය. එමෙන්ම නොයෙකුත් ආකාරයේ තර්ජන වලටද , අනන්‍යතා එළිදරව් වීම හරහා මානසීක පීඩා වලට මුහුණ දුන් බ්ලොග් කරුවන් ද අප අතර ඇත. නැවත වතාවක් මේ ලියවීම ඒ වෙනුවෙනි.

තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය

පසුගිය කාලය පුරාම බ්ලොග් අවකාශය තුල දක්නට තිබූ දෙයක් වූයේ බ්ලොග් කරුවන්ට එරෙහිව එල්ල වන තර්ජන, අපහාස ආදියයි. මෙම තත්වයට මුහුණ දීමට සිදු වූ බ්ලඔග් කරුවන් කිහිප දෙනෙකුම අපට දැකගත හැකි විය. beyond frame, ටැබූ , ආනන්දවර්ධන, බුමුතුරුණු මින් කිහිප දෙනෙකි. මෙය මෙතනින් නතර නොවන අතර තවත් විවාද සම්පන්න බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුම මෙම ඉරනමට ඉදිරියේ දී මුහුණ දෙනවාට සැක නැත.

මාධ්‍ය වේදීන් මරා දමන විටත් , පීඩනයට පත් කෙරෙන විට හා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබන විටත් නිසි හඬක් නොනැගෙන කල්හි මෙම බ්ලොග් කරුවන් ගැන සංවේදී වීම එක අතකට අවශ්‍යය දෙයක් නොවේ. නමුත් එසේ සංවේදී නොවී සිටීම බ්ලොග් කරුවකු සතු යුතුකම් කෙසේ වූවත් සාමාන්‍ය පුරවැසියකු ලෙස යුතු නොවන්නේ යැයි අපි කල්පනා කරමු. ඉහත බ්ලොග් කරුවන් ගැන කියු විගසම බ්ලොග් අවකාශය පුරා ඔවුනට එරෙහිව කොටි හිතවාදී, ජාති ද්‍රෝහී, සදාචාර විරෝදී ආදී ලෙස ලේබල ගණනාවක් අලවන්නට ඕනෑ තරම් පිරිස් සිටින බව අපි දැක ඇත්තෙමු. එහෙත් අනෙකා ගේ මතය හා එකඟ නොවූ පමණින් තලා පෙලා , චණ්ඩි පාට් දැමීමෙන් සියලු ප්‍රශ්න විසඳෙන බවට කල්පනා කරන බ්ලොග් අවකාශයේ මර්වින් සිල්ව ලා හට මේවා තේරුම් කරන්නට යාමෙන් වැඩක් වේ දැයි අප දන්නනේ නැත. එහෙත් එකඟ වීම සියලු තැන්හිම සර්ව සාධාරණ ක්‍රමය විය යුතු යැයි ද, විරුද්ධ වාදීන් යනු විදේශ බලවේග විසින් මෙහෙයවන්නන් යැයි මහා භීතිකාවකින් පෙලෙන මේ ලාංකිකයන්ට, අනෙකා හා පොලු අමෝරා නොගෙන සංවාදයේ යෙදුනු නොහැකිදැයි අප ප්‍රශ්න කරමු.

බ්ලොග් අවකාශය තුල අප විසින් ලිවීම ආරම්භ කරන අවදියේ අප තුල තිබූ එක බලාපොරොත්තුවක් විය. එනම් අසංවේදී භාවයට පත් ලාංකික සමාජය තුල සමාජ සංවාද ගොඩ නැගේය යන බලාපොරොත්තුවයි. එලෙසම ප්‍රධාන ධාරාවට එරෙහි වන්නන්ගේ මතවාද සංවාදයට භාජනය වන වේදිකාවක් බවට බ්ලොග් අවකාශය පත් වනු දැකීමයි. එහෙත් අවාසනාවට මෙන් අප දකින්නේ තර්ජනය කිරීම් ය, බැණ වැදීම් ය , කුණු හරුපය. ඉහත කී බ්ලඔක් කරුව් ගේ මතවාද හා 100% එකඟ තාවයක් අපට නැත. නමුත් ඔවුන් එළි දක්වන මතවාද සමග ගැටෙන්නට අපි සැම විටම උත්සහ කලෙමු. ඒ ඔවුන්ගෙන අපට ගත හැකි යමක් තිබෙන නිසාත් , එම සංවාද හරහා මිනිසුන් වෙනුවෙන් ගොඩ නැගෙන්නා වූ සමාජ ව්‍යාපාරයක් බිහි වනු දැකීමේ ත් අපේක්ෂාවෙනි.

ලසන්ත ඝාතනය ගැන බ්ලොග් කරුවන් ලෙස අප හඬක් නැගිය යුතුව තිබුනේ යැයි සහෝදර බ්ලොග් කරුවකු අප හා පැවසීය. නමුදු එය ඉෂ්ඨ නොවීය. මන්ද යත් ලසන්ත දේශපාලනික වූ බැවිනි. මෙතරම් දේශපාලනී කරණය වූ රටකදී ලසන්ත දේශපාලනික චරිතයක් වීම නිසා මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස ද , ප්‍රකාශන නිදහස ද , යටපත් වන්නේ යැයි බොහෝ අය උපකල්පලනය කල බැවින් සාමූහිකව එයට එරෙහි වීමක් කරන්නට තරම් පෙළඹවීමක් කරන්නට අපට නොහැකි විය. ලසන්ත මෙතැනට අතුරු කතාවක් ලෙස ඈදා ගත්තේ බ්ලොග් කරුවකු මෙවැනි ඉරණමකට මුහුණ දුනහොත් ඊට ප්‍රතිචාර කුමන විදියේ වනු ඇතිදැයි නිගමනය කරගන්නනට සාධක එම සිද්ධි වලින් උකහා ගත හැකි බැවිනි.

මේ ලියන්නේ බ්ලොග් කරුවන් සියලුම දෙනාගේ භාෂණයේ නිදහස වෙනුවෙන් හඬක් නැගීම වෙනුවෙනි. ලියන්නට තිබුනේ කලකට පෙර වුව ද පමාවී හෝ ලියා තබන්නේ අසංවේදී භාවය නිසා මුලු මුනින්ම සමාජය හිරි වැටෙන්නට පෙර ලියා තැබීම යුතුකමක් සේ හැඟුණු බැවිනි.

ආගන්තුකයා හට ස්තූතියි

“දියත් කුලේ අපි” බ්ලොග් අඩවියේ පලවූ ලිපිය පිළිබඳව අවංක අදහස් දැක්වූ ආගන්තුකයා හට ස්තූතියි.

 

ආගන්තුකයා said…
ඇත්තටම සමාව ඉල්ලන්න ඕනි වැඩක් තමා.. මේක මම උපුටා ගත්තේ වින්දන සහෘදයා කරපු කතාවකින්.. පාලිතට පුරුදු ඇත්තේ ඒ කතාව කරන වෙලාවෙ එයත් එතන හිටපු නිසා වෙන්න ඇති.. (රාජකීය කලා සංසදයේ එතුමාගේ ස්තුති කතාවෙදි ) මම උපුටා ගත්තේ ලේඛනයකින් බව නොදැන සිටි නිසා මම රචකයාගේ නම සඳහන් කලේ නැත… සමාව….

Palitha said…
උඔට ටිකක් අමතක වෙලා, වින්දන මේක මුලින්ම ලියලා තිබුනේ සියපතක උදානය සමරු කලාපයේ, ඒකයි පටලැවුනේ.
‍කොහොමවුනත් අවුලක් නෑ මචං. උඹ ඒ ලිපිය දැම්මේ මිනිස්සුන්ගේ ඔළුව පළල් කරන්නේ. අරමුන හොද නිසා ඔය වගේ වැරදි එච්චර හිතන්න ඕන නෑ. මිනිස්සුන්ගේ මනුස්සකම් අමතක කරන්න, පටු කරන්න තමන්ගේ බ්ලොග් එකේ පත්තර කොපි කර කර දාන එවුන් ඉන්න එකේ උඹව අධෛර්යමත් කරන එක කොහොමටත් කරන්න බැරි වැඩක්. වැරදි අවම කරගනිමින් අපි විදින, විදපු දේවල් ලෝකෙත් එක්ක බෙදා ගැනීමට ගත්ත උත්සාහය අත්හරින්න එපා.
අමනුස්සකම්වලට එරෙහි සටනට කොන්දේසි නෑ

කොපි කිරීම : ආගන්තුකයා හට

“දියත් කුලේ අපි” නම් බ්ලොග් අඩවියේ පලවූ ලිපිය හා සබැදේ.එම ලිපියේ නිර්මාණය පහත දක්වමි.

මගේ ගෙදර සාලයක් ඇත…

එහි පිංතූර එල්ලන බිත්තියක් ඇත…

තාත්තාගේ පිංතූරයක් එහි එල්වා ඇත…

නමුත්….

එය රාමුවකින් වටවී ඇත…

එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත…

එයද රාමුවකින් වටවී ඇත…

එහි එල්වා ඇති මවගේ පිංතූරයද

රාමුවකින් වටවී ඇත…

එහි මගේ පින්තූරයද එල්වා ඇත…

එය රාමුවකින් වටවිය යුතුව නැත…

නමුත්….

එය වටාද රාමුවක් ඇත..

 දැන් පහත නිර්මාණය දෙස බලන්න

“අපේ ගෙදර තිබුණා

අපේ සීයගේ පින්තූරයක් ….

ඒක වටේ හතරැස් රාමුවක්……

අපේ තාත්තා කියන විදිහට

තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්

තිබිල තියෙන්නෙ

හතරැස් රාමුවක්….

ඇයි අපේ තාත්ත…..

තාත්ත ගේ පින්තූරෙ වටෙත්

හතරැස් රාමුවක්….

එතකොට ,

මම ……”

උපුටා ගැනීම

සියපතක උදානය සමරු කලාපයෙනි

(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)

රචකයා – වින්දන විධුර කුමාර කහඳගේ

 

නිර්මාණය අමු අමුවේ කොපි නොකල පමණින් සාධාරණ යැයි නොසිතමි. අවම වශයෙන් සැබෑ නිර්මාපකයා ගැන සඳහනක් හෝ කලේ නම් වටින බව මගේ අදහසයි. මෙය ඉදිරිපත් කලේ මඩ ගැසීමේ අරමුණින් නොව සැබෑ නිර්මාපකයා වූ වින්දන විධුර කුමාර කහඳගේ හට සාධාරණයක් ඉටු කිරීමේ චේතනාවෙනි.

ස්තූතියි

ජීවිතය සුලු කොට තකන්න එපා

මීට අුරුද්දකට පෙර අපේ බ්ලොග් කරුවකු වූ යසරුවන් මිය ගියේ දිය ඇල්ලක
නාන්නට ගොසිනි. එය අප එක වර කම්පනයට පත් කල සිදුවීමක් විය. නැවතත් ඒ
මතකය හා ශෝකය වැඩි වූයේ මේ සිංහල අවුරුදු දින මගේ හොදම මිතුරකුගේ එකම
සොයුරා දියේ ගිලීමෙන් මිය ගිය බැවිනි.

සෙසු අයගේ අවවාද නොතකා ගිය මේ ගමන නිසා අද අපට ඉතිරිව ඇත්තේ වේදනාව පමණි. මීට අමතරව අපේ ගමේ තවත් තරුණයන් දෙදෙනෙක් එදිනම දියේ ගිලී මිය ගියහ. ඔවුන්
සිටියේ අධික බී මතිනි.

මෙය එක්තරා ඉල්ලීමකි. කරූණාකර ඔබේ ජීවිත අනවශ්‍ය අවදානමකට ලක් කරන්න එපා.

භාෂණ ත්‍රස්තවාදියෙකු වී තිබේ

රෝහිත භාෂණ සිංහල කොටියෙක් යැයි නම් කල වෙබ් අඩවි සටහනක් දුටුවේ
යම් කලකට පෙරය. භාෂණ ත්‍රස්වාදියෙක් යැයි නම් කල සැනසීම දේශ ප්‍රේමයෙන්
ඔද වැඩී ගිය සමාජයට ඉතා ලෙහෙසි කරුණකි. නමුත් භාෂණ ගේ සියලු මතවාද හා
එකඟ නොවූ පමණින් අපට ඔහු ත්‍රස්තවාදියෙකු යැයි නම් කල හැකිද?

නූතන ලාංකීය සමාජයේ රජය විවේචනය හෝ පවතින ක්‍රමයට අනුගත නොවීම
බරපතල අපරාධයක් ලෙස සැලකේ. එහෙත් ත්‍රස්තවාදය සිය එකම සතුරා ලෙස
සලකමින්, ජඩ දේශපාලයනට එරෙහි වන්නන් දුටු කල පොලු අමෝරා ගන්නා
ලාංකේය ජන සමාජයට භාෂණ ත්‍රස්තවාදියකු ලෙස පෙනීම පුදුමටක් නොවේ.