නිර්ණාමික බ්ලොග් කරණය , තර්ජන සහ බ්ලොග් අවකාශය

නිර්ණාමික බ්ලොග් කරණය සහ ප්‍රතිචාර පල කිරීම පිළිබඳව නොයෙකුත් මතවාද සිංහල බ්ලොග් අවකාශය තුල පසුගිය කාලය පුරාවටම දකින්නට ලැබුනි. අපට වැඩි වශයෙන් දකින්නට තිබුනේ නිර්ණාමික බ්ලොග් කරණය හා ප්‍රතිචාර පල කිරීම පිළිබඳවඊට එරෙහි මතවාදයන්ය. නිර්ණාමිකත්වය  කශේරුකාව පිළිබද, ලියන්නාගේ කශේරුකාව පිළිබඳ ගැටලුවක් ලෙස සම්පිණ්ඩනය කෙරෙන අදහස් අපට ඕනෑ තරම් දකින්නට ලැබුනි. අපගේ මෙම  ලිපියේ අරමුණ නිර්ණාමික ප්‍රතිචාර පිළිබඳව සාකච්චා කිරීම නොව

  • නිර්ණාමික ලේඛන කලාව
  • ආරූඪ නාම
  • නිර්ණාමික බ්ලොග් කරණය 

යන සංකල්ප පිළිබඳව සංවාදයක් මතු කිරීමය.

නිර්ණාමික හෝ ආරූඪ නාම ලේඛන කලාව

නිර්ණාමික ලේඛන කලාව හෙවත් ආරූඪ නම් වලින් ලේඛන කල්වෙහි යෙදීම ලොව පුරා පිළිගත් සම්ප්‍රදායකි. ලොව පිළිගත් ලේඛකයන්, පත්‍ර කලාවේදීන් ඇතුලු  බොහෝ දෙන් නිර්ණාමිකව හෝ ආරූඪ නාම වලින් බ්ලොග් කරණයේ යෙදී ඇත. උදාහරණ ලෙස

  • මාර්ක් ට්වේන්
  • මක්සිම් ගෝර්කි
  • ලුවිස් කැරොල්
  • ස්ටීවන් කිංග්
  • ජෝජ් එලියට්
  • වී අයි ලෙනින්

ඇතුලු ඉතා දීර්ඝ ලැයිස්තුවක් අපට හමුවේ. මේ සියලු දෙනාම නොයෙකුත් හේතු මත ආරූඪ නාම වලින් ලේඛන කලාවේ නිරත වූහ. මීට අමතරව ලංකාව තුල නිර්ණාමිකව ලේඛන කලාවේ යෙදුනු ලේඛකයන් අපට ඕනෑ තරම් හමුවේ. මෙම ලේඛකයින් ගේ සැබෑ අනන්‍යතා බොහෝ කල් සඟවා පවත්තවා ගැණුනු අතර එමගින් ඔවුන්ට ඒ ඒ කාල සීමා තුල පැවති සමාජ, දේශපාලන සංස්ථාවෙන් එල්ල විය හැකි තර්ජන , පීඩා මග හරවා ගැනීමට කටයුතු යෙදිණි.

  • හික්කඩුවේ සුමංගල හිමි
  • ලසන්ත වික්‍රමතුංග
  • ඒ ජේ ගුණරත්න
  • කසුරි
  • සුන්දර නිහතමානී ද මැල්
  • වික්ටර් අයිවන්
  • විමලසිරි ගම්ලත්

ලංකාවේ ආරූඪ හෝ නිර්ණාමික ලේඛන කලාවේ යෙදුනෝ වෙති. ඒ අතර විමලසිරි ගම්ලත් පසු කාලීනව විමල් වීරවංශ ලෙස ප්‍රසිද්ධියට පත් විය. 

නිර්ණාමික බ්ලොග් කරණයේ යෙදෙන්නේ ඇයි????????
අද බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනෙකුට ඇති ගැටලුව නම් “ඇයි කෙලින් ලියන්න බැරි?”, “මොකද කොන්ද පණ නැද්ද?” ආදී දේ ය. නමුත් අප සියලු දෙනාම ලේඛන කලාවේ පිලිගත් සිද්ධාන්ත අනුව සලකා බලන විට අරුමයක් නොවන නිර්ණාමික හෙවත් ආරූඪ නම් වලින් බ්ලොග් කරණයේ යෙදීම ගැටලුවක් කර ගන්නේ ඇයිද යන්නට තේරුම් ගැනීම අසීරුයි. නමුත් ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය මතවාද හා ගැටෙන විට , විවේචනය කරන විට, රටක පවතින සමාජ දේශපාලනික ව්‍යූහයන් ප්‍රශ්න කරන විට ඊට එරෙහිව එල්ල වන ප්‍රතිචාර අතිශය දරුණුයි. සමහර විට මෙම නිසා බ්ලොග් කරුවන් සිරගත කිරීමට ලක්වුණු අවස්ථා පවා ලෝකයේ තිබෙනවා. මීට අමතරව බ්ලොක් කරුවන් හට නොයෙකුත් තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු වී තිබේ. සමහර විට ඔබ නොදන්නවා වුනත් ලංකාවේ සමහර බ්ලොග් කරුවන්ගේ අනන්‍යතා සඔයා ගෙන ඔවුන්ට මානසික පීඩා ගෙන දෙමින් , සමීපතමයින් හට තර්ජනය කල අවස්ථා පවා අප අත් දැක තිබේ. මේ සියල්ල සිදු වන්නේ මතවාදිමය වශයෙන් එකඟ නොවීම් දිරවා ගන්නට බැරි කම හේතුවෙන් බව ඉතා පැහැදිලිය.

නිර්ණාමික බ්ලොග් කරණයට එරෙහි වන හේතු සාධක
මෙම ලිපිය පුරා නැවත නැවතත් සඳහන් කරන පරිදි බ්ලොග් අවකාශය තුල නිර්ණාමිකත්යට එරෙහි වන්නේ තමන් දරන මතයට විරුද්ධ බ්ලොග් කරුන් ගේ නිර්ණාමිකත්වයට වීම විශේෂිතයි. බොහෝ විට තමන්ගේ මතවාදය සහ එකඟ වෙන බ්ලොග් කරුවන්ගේ නිර්ණාමිකත්වය ප්‍රශ්න කරන්නට මේ පොලු අමෝරා ගන්නා අය ඉදිරිපත් වෙන්නේ නැහැ. පසුගිය කාලය පුරා මෙම කාරණය නිසා සිංහල බ්ලොග් අවකාශය තුල සිටින නිර්ණාමික බ්ලොග් කරුවන්ට
නොයෙකුත් තර්ජන , අපහාසවලට මුහුණ දීමට සිදු වුනා. සමහරුන් මේ නිර්ණාමික බ්ලොග් කරුවන්ගේ අනන්‍යතාවයන් සෙවීමට මහත් වෙනසක් ගනු ලැබුවේ අප තැති ගැන්වීමට ද ලක් කරමින්. තවත් අය නිර්ණාමික බ්ලොග් කරුවන් ගේ අඩවි සින්ඩිකේටරයෙන් පන්නා දැමිය යුතු යැයි කියන මතවාද පවා ඉදිරිපත් කර තිබුනේ එක්තරා ආකාරයක අන්තර්ජාල චණ්ඩි පාට් රඟ දක්වමින්. නමුත් තමන් හා එකඟ නොවූ පලියට එසේ කිරීම කෙතරම් යුක්ති සහගත දැයි අපි ප්‍රශ්න කරමු.

අනන්‍යතා නිර්මාණය උදෙසා බ්ලොග් කරණය  ???????????????????????????????????
මේ  තර්ජන කරන සමහරුන්ට වැළඳී ඇති රෝගය  ලෙස අප දකින්නේ බ්ලොග් ලිවීම යන් අනන්‍යතා නිර්මාණය කර ගැනීමේ මාර්ගයක් ලෙස ඔවුන් උපකල්පනය කිරීමයි. අනන්‍යතා අහිමු වූ නූතන ලාංකිකයා හට “අහවල් බ්ලොග් එක ලියන්නෙ මම”  යනුවෙන් තෘප්තිමත්වීමට ඇති අවස්ථාව මේ බ්ලොග් කරුවන් නිසා අහිමි වන බව නොරසහකි. මන්ද නිර්ණාමිකයන් බ්ලොග් ලියන්නනේ අනන්‍යතා නිර්මාණය උදෙසා නොවන බව අප හොදාකාරව තේරුම් ගෙන සිටිනා බැවිනි. එම නිසා නිර්ණාමික බ්ලොග් කරනයට එරෙහිව කූණු හරුපයෙන් බැනීමටත් , ඔවුන්ගේ අනන්‍යතාව සොයා ගැනීම සිතමින් සිටීමෙන් සමහරවිට සිය නින්ද අහිමි කරගැනීමත් කර නොගන්නා ලෙසට මේ අයට අකමැත්තෙන් වුවත් අවවාදයක් දීමට අපට සිදු වන්නේ එහෙයිනි.

මීලඟ ලිපියෙන් තවත් සාකච්චා කරමු.

විශේේ ස්තූතිය – තොරතුරු , මූලාශ්‍ර සැපයූ ආනන්ධ වර්ධන සොයුරාහට

 

තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය 2

අප ලියූ තර්ජන තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය ලිපියට ලැබී තිබූ සමහර ප්‍රතිචාර දෙස බැලූ විට පෙනී ගියේ ඒවා මගින් අප සිටින්නේ කාගේ පිලේ යන්න දැයි ප්‍රශ්න කරන අතරේ හුදු පුද්ගල විවේචන එල්ල කරන බවත්ය. ඒ අතරින් මියගිය මහාචාර්ය සමරනායක මහතා හට අපහාස කරමින් ලියැවුණු ප්‍රතිචාර මකා ඉවත් කරන්නට සිදුවිය. එහෙත් ඒ පිළිබඳව වැඩි දුර ලියන්නට නොයන්නේ බ්ලොග් අවකාශයට සදාචාරය උගන්නන්නට අප උත්සහ නොකරන බැවිනි. මන්ද බ්ලොග් අවකාශය නිරූපනය කරන්නේ අපට එදිනෙදා හමුවන සමාජයේ කොටසක් වන බැවිනි.

අප කාගේ පිලේ ද යන්න හෙවත් කාට හරි කඩේ යනවා දැයි බවත් ප්‍රශ්නයක් මතුව තිබේ. මේ යුගයේ තවත් ජනප්‍රිය ප්‍රශ්නයක් වන එය ඇසීමෙන් සියලු ගැටලු නිරාකරණය නොවන වග මතක් කර දීමට අපට සිදු වේ.එම ලියවිල්ල සැලකිල්ලෙන් කියවා බැලුවහොත් අප මතු කරන්නට හදන කාරණාව වටහා ගත හැක. අප සිටින්නේ භාෂණයේ නිදහස පැත්තතේය. රාඦාණ්ඩුවක් මෙන් රජතුමාට එහෙයි කියාගෙන ජීව්ත් වීම පරමාදර්ශය කොටගත් ජීවිත වලට කණට ගසන්නන්නේ පිලේය. එම නිසා අහිංසකයින් වගේ පෙනෙන තක්කඩියන්, බඩු ගසන්නන් ඇතුලු සියලු දෙනා හට (පෙරදිග සුලං ට අනුව ) රිදවීම වැලැක්විය නොහැක. ඒ රිදවීම අප හට ආතල් එකක් නොව සමාජ සංවේදනය උදෙසා ඉටු කරන්නකි. අද දවසේ දී රෝහිත භාෂණ ලා රට හැර ගොසිනි. එය අපට පෙන්නුම් කරන්නේ අප වටා ඇති නිදහසේ සීමාවයි. එම නිසා අපට ඒ වෙනුවෙන් හඬක් නැගීමට අවශ්‍යව තිබේ. යුගයේ ජනප්‍රිය ප්‍රශ්නය වන “ඔයා ඉන්නෙ කාගේ පැත්තේ” අසමින් අප වෙත එන අයට කියන්නට ඇත්තේ කුමක්දැයි අප නොදනිමු. මන්ද එයට දෙන පිළිතුර කුමනාකාරයේ වුවත් අවි අමෝරා නැගී සිටීමට ප්‍රශ්න අසනා පාර්ශවය සූදානම් බැවිනි.

මේ සංවාදයට ලසන්ත ඈදා ගත්තතේ ඇයි ද යන්නත් තවත් ප්‍රශ්නයක් වී ඇත. නැවත වතාවක් ලිපිය සැලකිලෙන් කියවා බලන ලෙස ඉල්ලා සිටිමි.

“ලසන්ත ඝාතනය ගැන බ්ලොග් කරුවන් ලෙස අප හඬක් නැගිය යුතුව තිබුනේ යැයි සහෝදර බ්ලොග් කරුවකු අප හා පැවසීය. නමුදු එය ඉෂ්ඨ නොවීය. මන්ද යත් ලසන්ත දේශපාලනික වූ බැවිනි. මෙතරම් දේශපාලනී කරණය වූ රටකදී ලසන්ත දේශපාලනික චරිතයක් වීම නිසා මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස ද , ප්‍රකාශන නිදහස ද , යටපත් වන්නේ යැයි බොහෝ අය උපකල්පලනය කල බැවින් සාමූහිකව එයට එරෙහි වීමක් කරන්නට තරම් පෙළඹවීමක් කරන්නට අපට නොහැකි විය. ලසන්ත මෙතැනට අතුරු කතාවක් ලෙස ඈදා ගත්තේ බ්ලොග් කරුවකු මෙවැනි ඉරණමකට මුහුණ දුනහොත් ඊට ප්‍රතිචාර කුමන විදියේ වනු ඇතිදැයි නිගමනය කරගන්නනට සාධක එම සිද්ධි වලින් උකහා ගත හැකි බැවිනි. ”

උපුටනය – මුල් ලිපිය

ලසන්ත ගේ නම සමග කියවන ඔබට යම් කිසි ගැටුමක් ඇත්නම් ඒ වෙනුවට ඔබ කැමති කෙනෙකුගේ නම ආදේශ කර ගන්නා ලෙස ඉල්ලමු. මන්ද ලසන්ත දේශපාලනික වූ බැවින් එය සාධාරණිකරණය කරන්නට සැදී පැහැදෙන අයට මේ සමාජය ඇද වැටී තිබෙන්නා වූ ඛේදවාචකය ගම්‍ය නොවන බැවිනි. ලසන්ත වෙනුවට ආදේශ කර ගත හැකි ජීවත් ව සිටින , නොසිටින නම් ලැයිස්තුවක් මෙතැන පල කල හැක. ලසන්ත සමග දේශපාලනික 100% එකඟතාවයක් නොමැති වුවද, අදහස් ප්‍රකාශ කිරීමේ වරදට මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගැනීම යුක්ති සහගත දැයි අපට ගැටලුවකි. ප්‍රතිචාර වල තිබූ පරිදි තමන්ට නොදිරවන බ්ලොග් කරුවන් හා යුධ වැදීමේ සීමාව කොතැනින් නිමා විය යුතු දැයි නැවත වතාවක් ප්‍රශ්න කිරීමට අපට අවශ්‍යය විය. එමෙන්ම නොයෙකුත් ආකාරයේ තර්ජන වලටද , අනන්‍යතා එළිදරව් වීම හරහා මානසීක පීඩා වලට මුහුණ දුන් බ්ලොග් කරුවන් ද අප අතර ඇත. නැවත වතාවක් මේ ලියවීම ඒ වෙනුවෙනි.

තර්ජන , ප්‍රකාශන නිදහස සහ බ්ලොග් අවකාශය

පසුගිය කාලය පුරාම බ්ලොග් අවකාශය තුල දක්නට තිබූ දෙයක් වූයේ බ්ලොග් කරුවන්ට එරෙහිව එල්ල වන තර්ජන, අපහාස ආදියයි. මෙම තත්වයට මුහුණ දීමට සිදු වූ බ්ලඔග් කරුවන් කිහිප දෙනෙකුම අපට දැකගත හැකි විය. beyond frame, ටැබූ , ආනන්දවර්ධන, බුමුතුරුණු මින් කිහිප දෙනෙකි. මෙය මෙතනින් නතර නොවන අතර තවත් විවාද සම්පන්න බ්ලොග් කරුවන් කිහිප දෙනෙකුම මෙම ඉරනමට ඉදිරියේ දී මුහුණ දෙනවාට සැක නැත.

මාධ්‍ය වේදීන් මරා දමන විටත් , පීඩනයට පත් කෙරෙන විට හා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබන විටත් නිසි හඬක් නොනැගෙන කල්හි මෙම බ්ලොග් කරුවන් ගැන සංවේදී වීම එක අතකට අවශ්‍යය දෙයක් නොවේ. නමුත් එසේ සංවේදී නොවී සිටීම බ්ලොග් කරුවකු සතු යුතුකම් කෙසේ වූවත් සාමාන්‍ය පුරවැසියකු ලෙස යුතු නොවන්නේ යැයි අපි කල්පනා කරමු. ඉහත බ්ලොග් කරුවන් ගැන කියු විගසම බ්ලොග් අවකාශය පුරා ඔවුනට එරෙහිව කොටි හිතවාදී, ජාති ද්‍රෝහී, සදාචාර විරෝදී ආදී ලෙස ලේබල ගණනාවක් අලවන්නට ඕනෑ තරම් පිරිස් සිටින බව අපි දැක ඇත්තෙමු. එහෙත් අනෙකා ගේ මතය හා එකඟ නොවූ පමණින් තලා පෙලා , චණ්ඩි පාට් දැමීමෙන් සියලු ප්‍රශ්න විසඳෙන බවට කල්පනා කරන බ්ලොග් අවකාශයේ මර්වින් සිල්ව ලා හට මේවා තේරුම් කරන්නට යාමෙන් වැඩක් වේ දැයි අප දන්නනේ නැත. එහෙත් එකඟ වීම සියලු තැන්හිම සර්ව සාධාරණ ක්‍රමය විය යුතු යැයි ද, විරුද්ධ වාදීන් යනු විදේශ බලවේග විසින් මෙහෙයවන්නන් යැයි මහා භීතිකාවකින් පෙලෙන මේ ලාංකිකයන්ට, අනෙකා හා පොලු අමෝරා නොගෙන සංවාදයේ යෙදුනු නොහැකිදැයි අප ප්‍රශ්න කරමු.

බ්ලොග් අවකාශය තුල අප විසින් ලිවීම ආරම්භ කරන අවදියේ අප තුල තිබූ එක බලාපොරොත්තුවක් විය. එනම් අසංවේදී භාවයට පත් ලාංකික සමාජය තුල සමාජ සංවාද ගොඩ නැගේය යන බලාපොරොත්තුවයි. එලෙසම ප්‍රධාන ධාරාවට එරෙහි වන්නන්ගේ මතවාද සංවාදයට භාජනය වන වේදිකාවක් බවට බ්ලොග් අවකාශය පත් වනු දැකීමයි. එහෙත් අවාසනාවට මෙන් අප දකින්නේ තර්ජනය කිරීම් ය, බැණ වැදීම් ය , කුණු හරුපය. ඉහත කී බ්ලඔක් කරුව් ගේ මතවාද හා 100% එකඟ තාවයක් අපට නැත. නමුත් ඔවුන් එළි දක්වන මතවාද සමග ගැටෙන්නට අපි සැම විටම උත්සහ කලෙමු. ඒ ඔවුන්ගෙන අපට ගත හැකි යමක් තිබෙන නිසාත් , එම සංවාද හරහා මිනිසුන් වෙනුවෙන් ගොඩ නැගෙන්නා වූ සමාජ ව්‍යාපාරයක් බිහි වනු දැකීමේ ත් අපේක්ෂාවෙනි.

ලසන්ත ඝාතනය ගැන බ්ලොග් කරුවන් ලෙස අප හඬක් නැගිය යුතුව තිබුනේ යැයි සහෝදර බ්ලොග් කරුවකු අප හා පැවසීය. නමුදු එය ඉෂ්ඨ නොවීය. මන්ද යත් ලසන්ත දේශපාලනික වූ බැවිනි. මෙතරම් දේශපාලනී කරණය වූ රටකදී ලසන්ත දේශපාලනික චරිතයක් වීම නිසා මිනිසුන්ගේ ජිවත් වීමේ නිදහස ද , ප්‍රකාශන නිදහස ද , යටපත් වන්නේ යැයි බොහෝ අය උපකල්පලනය කල බැවින් සාමූහිකව එයට එරෙහි වීමක් කරන්නට තරම් පෙළඹවීමක් කරන්නට අපට නොහැකි විය. ලසන්ත මෙතැනට අතුරු කතාවක් ලෙස ඈදා ගත්තේ බ්ලොග් කරුවකු මෙවැනි ඉරණමකට මුහුණ දුනහොත් ඊට ප්‍රතිචාර කුමන විදියේ වනු ඇතිදැයි නිගමනය කරගන්නනට සාධක එම සිද්ධි වලින් උකහා ගත හැකි බැවිනි.

මේ ලියන්නේ බ්ලොග් කරුවන් සියලුම දෙනාගේ භාෂණයේ නිදහස වෙනුවෙන් හඬක් නැගීම වෙනුවෙනි. ලියන්නට තිබුනේ කලකට පෙර වුව ද පමාවී හෝ ලියා තබන්නේ අසංවේදී භාවය නිසා මුලු මුනින්ම සමාජය හිරි වැටෙන්නට පෙර ලියා තැබීම යුතුකමක් සේ හැඟුණු බැවිනි.

ආගන්තුකයා හට ස්තූතියි

“දියත් කුලේ අපි” බ්ලොග් අඩවියේ පලවූ ලිපිය පිළිබඳව අවංක අදහස් දැක්වූ ආගන්තුකයා හට ස්තූතියි.

 

ආගන්තුකයා said…
ඇත්තටම සමාව ඉල්ලන්න ඕනි වැඩක් තමා.. මේක මම උපුටා ගත්තේ වින්දන සහෘදයා කරපු කතාවකින්.. පාලිතට පුරුදු ඇත්තේ ඒ කතාව කරන වෙලාවෙ එයත් එතන හිටපු නිසා වෙන්න ඇති.. (රාජකීය කලා සංසදයේ එතුමාගේ ස්තුති කතාවෙදි ) මම උපුටා ගත්තේ ලේඛනයකින් බව නොදැන සිටි නිසා මම රචකයාගේ නම සඳහන් කලේ නැත… සමාව….

Palitha said…
උඔට ටිකක් අමතක වෙලා, වින්දන මේක මුලින්ම ලියලා තිබුනේ සියපතක උදානය සමරු කලාපයේ, ඒකයි පටලැවුනේ.
‍කොහොමවුනත් අවුලක් නෑ මචං. උඹ ඒ ලිපිය දැම්මේ මිනිස්සුන්ගේ ඔළුව පළල් කරන්නේ. අරමුන හොද නිසා ඔය වගේ වැරදි එච්චර හිතන්න ඕන නෑ. මිනිස්සුන්ගේ මනුස්සකම් අමතක කරන්න, පටු කරන්න තමන්ගේ බ්ලොග් එකේ පත්තර කොපි කර කර දාන එවුන් ඉන්න එකේ උඹව අධෛර්යමත් කරන එක කොහොමටත් කරන්න බැරි වැඩක්. වැරදි අවම කරගනිමින් අපි විදින, විදපු දේවල් ලෝකෙත් එක්ක බෙදා ගැනීමට ගත්ත උත්සාහය අත්හරින්න එපා.
අමනුස්සකම්වලට එරෙහි සටනට කොන්දේසි නෑ

කොපි කිරීම : ආගන්තුකයා හට

“දියත් කුලේ අපි” නම් බ්ලොග් අඩවියේ පලවූ ලිපිය හා සබැදේ.එම ලිපියේ නිර්මාණය පහත දක්වමි.

මගේ ගෙදර සාලයක් ඇත…

එහි පිංතූර එල්ලන බිත්තියක් ඇත…

තාත්තාගේ පිංතූරයක් එහි එල්වා ඇත…

නමුත්….

එය රාමුවකින් වටවී ඇත…

එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත…

එයද රාමුවකින් වටවී ඇත…

එහි එල්වා ඇති මවගේ පිංතූරයද

රාමුවකින් වටවී ඇත…

එහි මගේ පින්තූරයද එල්වා ඇත…

එය රාමුවකින් වටවිය යුතුව නැත…

නමුත්….

එය වටාද රාමුවක් ඇත..

 දැන් පහත නිර්මාණය දෙස බලන්න

“අපේ ගෙදර තිබුණා

අපේ සීයගේ පින්තූරයක් ….

ඒක වටේ හතරැස් රාමුවක්……

අපේ තාත්තා කියන විදිහට

තාත්ත ගේ සීයගෙ පින්තූරෙ වටෙත්

තිබිල තියෙන්නෙ

හතරැස් රාමුවක්….

ඇයි අපේ තාත්ත…..

තාත්ත ගේ පින්තූරෙ වටෙත්

හතරැස් රාමුවක්….

එතකොට ,

මම ……”

උපුටා ගැනීම

සියපතක උදානය සමරු කලාපයෙනි

(රාජකීය විද්‍යාලයීය කලා උළෙල 2002)

රචකයා – වින්දන විධුර කුමාර කහඳගේ

 

නිර්මාණය අමු අමුවේ කොපි නොකල පමණින් සාධාරණ යැයි නොසිතමි. අවම වශයෙන් සැබෑ නිර්මාපකයා ගැන සඳහනක් හෝ කලේ නම් වටින බව මගේ අදහසයි. මෙය ඉදිරිපත් කලේ මඩ ගැසීමේ අරමුණින් නොව සැබෑ නිර්මාපකයා වූ වින්දන විධුර කුමාර කහඳගේ හට සාධාරණයක් ඉටු කිරීමේ චේතනාවෙනි.

ස්තූතියි

ජීවිතය සුලු කොට තකන්න එපා

මීට අුරුද්දකට පෙර අපේ බ්ලොග් කරුවකු වූ යසරුවන් මිය ගියේ දිය ඇල්ලක
නාන්නට ගොසිනි. එය අප එක වර කම්පනයට පත් කල සිදුවීමක් විය. නැවතත් ඒ
මතකය හා ශෝකය වැඩි වූයේ මේ සිංහල අවුරුදු දින මගේ හොදම මිතුරකුගේ එකම
සොයුරා දියේ ගිලීමෙන් මිය ගිය බැවිනි.

සෙසු අයගේ අවවාද නොතකා ගිය මේ ගමන නිසා අද අපට ඉතිරිව ඇත්තේ වේදනාව පමණි. මීට අමතරව අපේ ගමේ තවත් තරුණයන් දෙදෙනෙක් එදිනම දියේ ගිලී මිය ගියහ. ඔවුන්
සිටියේ අධික බී මතිනි.

මෙය එක්තරා ඉල්ලීමකි. කරූණාකර ඔබේ ජීවිත අනවශ්‍ය අවදානමකට ලක් කරන්න එපා.

භාෂණ ත්‍රස්තවාදියෙකු වී තිබේ

රෝහිත භාෂණ සිංහල කොටියෙක් යැයි නම් කල වෙබ් අඩවි සටහනක් දුටුවේ
යම් කලකට පෙරය. භාෂණ ත්‍රස්වාදියෙක් යැයි නම් කල සැනසීම දේශ ප්‍රේමයෙන්
ඔද වැඩී ගිය සමාජයට ඉතා ලෙහෙසි කරුණකි. නමුත් භාෂණ ගේ සියලු මතවාද හා
එකඟ නොවූ පමණින් අපට ඔහු ත්‍රස්තවාදියෙකු යැයි නම් කල හැකිද?

නූතන ලාංකීය සමාජයේ රජය විවේචනය හෝ පවතින ක්‍රමයට අනුගත නොවීම
බරපතල අපරාධයක් ලෙස සැලකේ. එහෙත් ත්‍රස්තවාදය සිය එකම සතුරා ලෙස
සලකමින්, ජඩ දේශපාලයනට එරෙහි වන්නන් දුටු කල පොලු අමෝරා ගන්නා
ලාංකේය ජන සමාජයට භාෂණ ත්‍රස්තවාදියකු ලෙස පෙනීම පුදුමටක් නොවේ.

යසරුවන් ගුණතිලක වෙනුවෙනි

නාඳුනන කවියා ගෙන්

මේ පද වැල් කිහිපය ලැබුනේ විද්‍යුත් තෑපැලෙනි. එවූ පුද්ගලයා එය “නන්නාඳුනන කවියෙක්” ගෙන් යැයි සටහන් තබා තිබුණි. ලියුවේ කවුරුන් වුවද එය උපුටා තබමි.

වන්නියේ යුද අගල් තුල

කඳු ගැසෙන යෞව්වනය මත

නියඟලා මල් පිපෙයි එක යායට

 

ඊසාන මෝසමේ බීරුමෙන්

වෙන් කෙරුනාට උතුරේ කඳුලු දකුණින්

තෙත බරිත ලේ සුවඳ හමනවා

වැස්සට දෙස් තියන

අහසට හූල්ලන

හාරිස්පත්තුවේ

අඟුණුකොල පැලැස්සේ

බුලත් කොහුපිටියේ

අම්මලාගේ නැහැ සිදුරු විනිවිද

ගැඹුරු හද පතුලටම

 

වර්ග කිලෝමීටරයක්

ඉදිරියට යන්න

යසවතී ගෙ කොලුවා ඇද වැටුනා

තවත් සිය ගානක් එක්ක

ඔල්වරසන් නගන

රූපවාහිනියවත් දන්නෙ නෑ

වැලලෙන්න බිම් අඟලක් නැති වග  

උපතින්ම සිංහල

ඒ කොලු ගැටවුනට

 

වගේ වගක් නැති කොළඹ

සව්දිය පුරනවා

අලුත් අවුරුද්දට

පෙන දදා උතුරද්දි කිරි මුට්ටි

කිලිනොච්චියේ ගලනවා

පෙරදාක කිරි කර පෙවුණු

ලේ කඳුලු

සිංහල ද දෙමළ ද

සොයාගත නොහැකිය වෙන්කර

 

ජීවිතේ මල්

යුද්ධෙ දියෙන කල්

දියවන්නාවට නැවුනු

වැටකෙයියා අත්තක ඉඳන්

කපුටෙක් කියනවා

සිංදුවක්

හෘද සාක්ෂිය අහිවූ සමාජය

මේ සටහන ලියන්නේ බූන්දි යේ පලව තිබූ ලිපියක් දැකීමෙනි. එය පලවන කාරණාවයි. දෙවැන්න කරුණා අම්මාන් සමග අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් කරේ අත දමාගෙන නැටූ බව පලව තිබූ පුවතක් දැකීමෙනි. මුල් ලිපියෙහි කියා තිබුණු පරදිද්දෙන්ම අප ජීවත්වන්නේ මිය ගියවුන් උදෙසා යුක්තිය ඉටු නොවන සමාජයකය.

ඝාතනය යනු අපරාධයකි. නමුත් ඝාතනයන් අමතක කොට, යුක්තිය පසිඳලීම පසෙක ලා ඝාතකයින් හා සහජීවනයට හුරුවීම ඊටත් වඩා සාපරාධයකි.

ඒ උපුටා ගැනීම මුල් ලිපියෙනි. කරුණා අම්මාන් ගැන මතකයන් අද වන පිලුණු වී හමාරය. යුගයේ එවැන්නන් හා සහජීවනය ජීවත් වීමේ නිසා මාර්ගය ලෙස සැලකේ. එවිට මිය ගියවුන් උදෙසා යුක්තිය???? ලංකාවේ ජන සමාජයට හෘද සාක්ෂියක් නොමැත්තේ ඇයි දැයි අපට සැම විටම පැන නගින ගැටලුවකි. හෘද සාක්ෂියක් සතුව ජීවත් වීම යුගයේ ක්‍රමය නොවනවා වන්නට පුලුවන. නමුත් ලාංකේය ජන සමාජය තුල ඇති කල තුවාල සුවපත් කරන්නට මීනී මරුවන් හා එරෙහි වන්නට අපට නොහැකි වී ඇත්තේ ඇයි????

89 මව්වරුන්, පියවරුන් තවමත් වැලපේ. අතුරුදන් වූවන් ගේ මව්පියන් හට අදද යුක්තිය ඉටු වී නොමැත. ඩිලාන් පෙරේරා සිය හෘද සාක්ෂිය පසෙක තබා සහජීවනයට හුරු වූවේය. සමාජය සතු තුවාල සුවපත් කරන්නට නම් යුක්තිය ඉටු විය යුත්තේය. නමුදු අද දවසේ අපේ දේශපාලන නඩයට කරුණා අම්මාන් තවත් ගජ මිතුරෙකි. කාලය විසින් යුක්තිය සහ සාධාරණය සඳහා වන නිර්වචනයන් ලාංකීය භූමිය තුල වෙනස් වී ඇත්තේය. කලක දී මිනී මරුවන් අද වන විට අප ඉදිරියේ සිනා පාමින් සිටිති. ඔවුන් හා පෙරලා සිනහ නොවීම යුගයේ දී දේශ ද්‍රොහී කමකි.

මා සඳහන් කල මුල් ලිපියෙහි රචිකාවිය හඬා වැලපෙන්නේ යුක්තිය වෙනුවෙනි. නමුදු ඒ යුක්තිය හුදෙක් බලාපොරොත්තුවක් බවට පත්ව ඇති අතර සිය එදිනෙදා කාර්යන් සමග සිත යොමා සිටින අවශේෂ සමාජයට සංවේදනය වන්නේද නැත. මියගිය වුන් ගේ සමීපතමයන් හට ඇරෙන්නට ඒ වෙනුවෙන් කැපවන සමාජ ව්‍යාපාර අද දවසේ දී අප හමුවේ මුණ නොගැසෙන්නේ එබැවිනි.

විසිරුණු කල්පනාවන් අතරදේ දී කලකට ඉහත දිවයිනේ පලවූ ඡායාරූපයක් මගේ මතකයට නැගෙයි. ඒ ඇඹිලිපිටිය මහ විදුහලේ සිසුන් ඝාතනයට වැරදිකරු බවට උසාවියෙන් තීරණය කර බන්ධනාගාරය දක්වා කැඳවාගෙන යන එම විදුහලේ විදුහල්පතිව සිටි දයානන්ද ලොකූගලප්පත්ති නම් මීනිමරුවාගේ සිනාසෙන ඡායාරූපයකි. එම ඡායාරූපයේ ශීර්ෂය වූයේ “මීනිමරුවොත් සිනාසෙති” . එයට යටින් අති සංවේදී වැකි පෙලක් සටහන් කොට තිබුණි. සාධාරණත්වයේ නාමයෙන් තවත් එවැනි මීනි මරුවන් ගණනාවක් යුක්තිය ඉදිරියට ගෙන ආ යුතු වුවද සමාජය එය අමතක කර දමා නිසොල්මනේ සිටියි.

අවසානයේ අප සිතට නැගෙන ගැටලුව එය ලාංකීය ජන සමාජයේ හෘද සාක්ෂිය අහිමි වීමද නැතහොත් නපුංසක භාවයද යන්නයි. කාරණාව කුමක් වුවද කලකට ඉහත රෝහිත භාෂණ ගේ වැකියකින් නැවතීමේ තිත තබමි.

“ජීවත්ව සිටින වුන් නිදිගත් සමාජයක මළවුන් වෙනුවෙන් කිසිදා යුක්තිය ඉටු නොවේ”

Next Page »